May 1, 2025

ශ්‍රීලංකන් ගුවන් සේවය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමේ ක්‍රියාවලිය වේගවත් කිරීම සහ අනෙකුත් රාජ්‍ය ව්‍යවසායන් කාර්යක්ෂම වැඩපිළිවෙලක් ඔස්සේ ක්‍රියාත්මක කිරීමේ කඩිනම් අවශ්‍යතාව අන්තර්ජාතික මූල්‍ය අරමුදල පෙන්වා දී තිබේ.

ජනමාධ්‍ය හමුවකට එක්වෙමින් ශ්‍රී ලංකාව සඳහා IMF දූත මණ්ඩල ප්‍රධානී Evan Papageorgiou පැවසුවේ, ශ්‍රීලංකන් ගුවන් සේවයේ මෙහෙයුම් ශක්‍යතාව යථාතත්ත්වයට පත් කිරීමට සහ එහි ණය අර්බුදය විසඳීම සඳහා මධ්‍ය කාලීන උපායමාර්ගික සැලැස්මක් සකස් කිරීමට අදාළ බලධාරීන් පියවර ගෙන ඇති බවයි.

“අපි දන්නවා මෙවර අයවැයෙන් ගුවන් සමාගමේ ණයවලින් කොටසක් ගෙවීම සඳහා රුපියල් බිලියන 20ක් වෙන්කරලා තියෙනවා. ශ්‍රීලංකන් ගුවන් සමාගම ද සිය අන්තර්ජාතික බැඳුම්කර ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා මූල්‍ය උපදේශකයකු බඳවාගෙන තිබෙනවා. නමුත් අපි සිතන්නේ මේවා වේගවත් වියයුතු නිසා අපට මෙම ප්‍රධාන පෙනෙන ගැටළු සියල්ලටම හොඳ විසඳුමක් ලබාගත හැකි බවයි. ගුවන් සමාගමේ මෙන්ම රාජ්‍ය ව්‍යවසායන්ගෙ ද වැඩි ප්‍රගතියක් දැකීමට අපට අවශ්‍යයි,” ඔහු පැවසීය.

එමෙන්ම රාජ්‍ය ව්‍යවසායවල පාලනය ශක්තිමත් කිරීමටත්, ණය පියවීමටත් වැඩසටහන ආරම්භයේ සිටම රජය කැපවී සිටින බව ද ඔහු පැවසුවේය.

රජයට බරක් නොවන පරිදි රාජ්‍ය ව්‍යවසායයන් ක්‍රියාත්මක කිරීම, රාජ්‍ය ව්‍යවසාය සඳහා නිකුත් කරන ලද ඇපකරවල අවදානම් අඩංගු වීම, එම ආයතන විසින් විදේශ විනිමය ණය ගැනීමෙන් වැළකීම සහ ඒවා වඩාත් විනිවිදභාවයෙන් යුතු වීම කොන්දේසි අතර වේ.

රාජ්‍ය ව්‍යවසායන් 52ක විගණන වාර්තා කාලෝචිත ලෙස ප්‍රකාශයට පත්කිරීම ද කැපී පෙනේ.

එමෙන්ම අන්තර්ජාතික මූල්‍ය අරමුදල පවසන්නේ, රාජ්‍ය ව්‍යවසායන්වල සේවා පාරිභෝගිකයන්ට ඔවුන් ගෙවන මිලට සරිලන සේවාවක් හිමිවන බව සහතික කිරීම ද වැදගත් බවයි.

එම තත්වය විදුලිය සහ ඉන්ධන අංශය ඇතුළුව පුළුල් පරාසයක රාජ්‍ය ව්‍යවසාය සඳහා අදාළ වේ.

එය පෞද්ගලික සමාගමකින් පාරිභෝගිකයන් අපේක්ෂා කරන සේවව හා සමාන වියයුතු බවත්, එහි අරමුණ රාජ්‍ය ව්‍යවසායන් වඩාත් කාර්යක්ෂමව පවත්වාගෙන යෑම මෙන්ම ඒවා වාණිජ පදනමින් සහ දූෂණයෙන් තොරව පවත්වාගෙන යාම බවත් Evan Papageorgiou වැඩිදුරටත් සඳහන් කළේය.