April 25, 2024

යෝජිත ප්‍රසිද්ධ විවාදය සඳහා ජාතික ජන බලවේගය විසින් යෝජනා කර ඇති දින හතරෙන් එකකටවත් සහභාගී වීමට නොහැකි නම් තමන්ට පහසු දිනයක් යෝජනා කරන ලෙස ජාතික ජන බලවේගය සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතාගෙන් ඉල්ලීමක් කර තිබේ.

ජාතික ජන බලවේගයේ ප්‍රධාන ලේකම් ටිල්වින් සිල්වා ප්‍රවෘත්ති සාකච්ඡාවකදී කියා සිටියේ සිය පක්ෂය දින හතරක් යෝජනා කළේ සජිත් ප්‍රේමදාස මන්ත්‍රීවරයා කාර්යබහුල වේයැයි උපකල්පනය කර දින හතරෙන් ඔහුට පහසු ඕනෑම එකක් තෝරා ගැනීමට අවස්ථාවක් ලබාදීමට බවයි.

“අපි දින හතරක් යෝජනා කළේ සජිත් කාර්යබහුල වේයැයි උපකල්පනය කරලා, අනුර කුමාරත් කාර්යබහුල පුද්ගලයෙක්. විවාදයේ වැදගත්කම සළකා අපි දින හතරක් යෝජනා කළා. මේ විවාදය එතරම් වැදගත් යැයි සජිත් පාර්ශ්වය ප්‍රකාශ කරනවා නම්, ඔවුන්ට දින හතරෙන් එකක් තෝරාගන්න පුළුවන්, ඔහුට දින හතරෙන් එකකට පැමිණීමට නොහැකි නම්, ඔහුට පහසු දිනයක් යෝජනා කරන්න කියලා අපි ඔහුගෙන් ඉල්ලා සිටිනවා” යනුවෙන් ටිල්වින් සිල්වා පැවසීය.

සජිත් ප්‍රේමදාස විවාදය මඟ හැරීමට උත්සාහ කරන බවත් ඔහු විවාදයට සහභාගි නොවන බවත් ටිල්වින් සිල්වා තවදුරටත් සඳහන් කළේය.

“ඔහු උත්සාහ කරන්නේ විවාදයට මුහුණදීමට උත්සාහ කරනවා වෙනුවට එය මග හැරීමට මාර්ග සෙවීම පමණයි,” යනුවෙන් ඔහු වැඩිදුරටත් පැවසීය.