
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
2005 වසරේ සිට 2014 දක්වා කාලය තුළ දේශපාලනඥයන්ගේ දරුවන්, ඥාතීන් සහ හිතවතුන් ඇතුළු 263 දෙනකුට රුපියල් මිලියන 195.7ක මුදලක් (195,747,480.61ක්) විදෙස් අධ්‍යාපන කටයුතු සඳහා ජනාධිපති අරමුදලින් දී ඇති බව නාගරික සංවර්ධන, ඉදිකිරීම් සහ නිවාස අමාත්‍ය අනුර කරුණාතිලක පාර්ලිමේන්තුවේදී ඊයේ (05දා) අනාවරණය කළේය.
අසරණ ජනතාවගේ සෞඛ්‍ය සහ වෙනත් අවශ්‍යතාවන් වෙනුවෙන් සහන සැලසීමට පිහිටුවා ඇති ජනාධිපති අරමුදලෙහි මුදල් මැති-ඇමැතිවරුන් විසින් ප්‍රයෝජනයට ගෙන එහි මුදල් අවභාවිත කිරීමක් සම්බන්ධයෙන් නැවත වරක් අනාවරණය කරමින් මේ තොරතුරු හෙළිකරනු ලැබීය.
මෙලෙස මුදල් ලබාගෙන පශ්චාද් උපාධිය නිම කර පැමිණි සහ නොපැමිණි පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ජනාධිපති ලේකම් කාර්යාලය සතුව නොමැති බවත් ඒ අනුව මේ පිළිබඳ සොයා බලා ඉදිරියේදී ක්‍රියාමාර්ග ගන්නා බවත් අමාත්‍යවරයා සඳහන් කළේය.
ජාතික ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර වාචික පිළිතුරු අපේක්ෂාවෙන් ඊයේ (05දා) පාර්ලිමේන්තුවේදී යොමු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් හෙතෙම මේ බව සඳහන් කළේය.
ශ්‍රී ලංකාවට නැවත පැමිණ සේවය කළ යුතුය යන දැඩි කොන්දේසිය යටතේ විදේශීය විශ්වවිද්‍යාල ආචාර්ය උපාධිය හෝ වෙනත් වැඩිදුර අධ්‍යාපන කටයුතු සම්පූර්ණ කිරීම සඳහා ජනාධිපති අරමුදල මඟින් මුදල් දී ඇති බව දන්නේදැයි සහ ඒ ආශ්‍රිත ප්‍රශ්න හතක් එමඟින් විමසා තිබිණි.
ඊට පිළිතුරු දෙමින් ඇමැතිවරයා කියා සිටියේ, මැති ඇමැතිවරුන්ගේ දූ දරුවන්ට, ඥාතීන්ට සහ හිතවතුන්ට 2005 වසරින් පසුව ජනාධිපති අරමුදලෙන් මුදල් දීම සිදු කර ඇති බවයි. ඒ අනුව 2005 සිට 2014 දක්වා එම අරමුදලින් විදේශ ශිෂ්‍යත්ව සඳහා මුදල් ලබා දුන් නාමලේඛනයක් ඇමැතිවරයා විසින් සභාගත කරනු ලැබිණි. සභාවේ දැන ගැනීම සඳහා එම පුද්ගලයන් කිහිපදෙනකුගේ නම් කිහිපයක් ඇමැති විසින් ප්‍රකාශයට පත් කළේය.
ඒ අනුව, 2005දී ගම්පහ දිස්ත්‍රික් හිටපු මන්ත්‍රී සරත්චන්ද්‍ර රාජකරුණා මහතාගේ පුතකු වන හර්ෂණ සුපුන් රාජකරුණාට විදෙස් ශිෂ්‍යත්වයක් වෙනුවෙන් මුදල් දී ඇති බව සඳහන් කළේය.
එමෙන්ම 2006දී කරුණාසේන කොඩිතුවක්කු විසින් අයි.එන්. කොඩිතුවක්කු, වී. රාධක්‍රිෂ්ණන් විසින් කේ. රාධක්‍රිෂ්ණන්, දිනේෂ් දොඩංගොඩ වෙත ද කේ.කේ. පරණවිතාන යන අයට ද දේශපාලන සබඳතා මත විදෙස් ශිෂ්‍යත්ව සඳහා මුදල් දී ඇතැයි ඇමැතිවරයා කීය.
මෙලෙස විදෙස් අධ්‍යාපනය වෙනුවෙන් 2005දී හැත්තෑ තුන් මිලියන හාරලක්ෂ තිසිපන්දහස් හාරසිය හයයි ශත හැට එකක්, 2006දී හැටපන් මිලියන දහනව දහස් අටසිය අනූ හතක්, 2007දී පුද්ගලයන් 42ක් සඳහා තිස්තුන් මිලියන තුන් ලක්ෂ හතළිස් හත්දහස් හත්සිය අසූතුනක්, 2008දී පුද්ගලයන් 18ක් සඳහා, එකොළොස් මිලියන පනස්පන්දහස් දෙසිය පනහක්, 2009දී පුද්ගලයන් 04ක් සඳහා තුන් මිලියන නව ලක්ෂ පනස් දෙදහස් නවසිය හයක්, 2010දී පුද්ගලයන් 03ක් සඳහා තුන් මිලියන හාරලක්ෂයක්, 2011දී පුද්ගලයන් දෙදෙනකුට එක් මිලියන හය ලක්ෂයක්, 2012දී පුද්ගලයන් දෙදෙනකුට තුන් මිලියන දෙලක්ෂ තිස්දහස් දෙසිය තිස් අටක්, 2014දී එක් පුද්ගලයකුට ලක්ෂ 07ක් දී ඇතැයි ඔහු ප්‍රකාශ කළේය.
මේ ආකාරයට ජනාධිපති අරමුදලෙන් අධ්‍යාපනය සඳහා මුදල් ගත් දීර්ඝ ලේඛනයක් ඇතැයි කී ඒ මහතා, එලෙස විදෙස් අධ්‍යාපනය මඟින් ආචාර්ය උපාධිය අවසන් කර මෙරටට පැමිණි අය පිළිබඳ තොරතුරු නැතැයි ද කීය. එලෙස නැවත පැමිණ නැති පුද්ගලයන් සම්බන්ධයෙන් රජය කිසිදු නීතිමය පියවරක් ගෙන නැතැයි ද ඔහු පැවසීය.
ඔවුන් වෙනුවෙන් රජය මඟින් වැයකළ මුදල් නැවත අය කර ගැනීමට කිසියම් ක්‍රියාමාර්ගයක් ගෙන නැතැයි ද ඇමැතිවරයා සඳහන් කළේය. කෙසේවෙතත් මෙම මුදල් ගත් පුද්ගලයන් සම්බන්ධයෙන් ඉදිරියේදී විමර්ශනයක් කර ඔවුන් මෙරටට පැමිණ ඇත්දැයි සොයා බලන බව ඇමැතිවරයා කීය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය අනුර කරුණාතිලක මෙසේ ද පැවසීය.
“ශ්‍රී ලංකාවට නැවත පැමිණ සේවය කළ යුතුය යන දැඩි කොන්දේසිය මත ජනාධිපති අරමුදලින් විදෙස් විශ්වවිද්‍යාලවල උසස් අධ්‍යාපන අවස්ථා සඳහා ශිෂ්‍යත්ව දී තිබෙනවා.
ඒ වගේම 2005 වසරින් පසුව ජනාධිපති අරමුදලින් හිටපු ජනාධිපතිවරුන්ගේ, ඇමැතිවරුන්ගේ සහ මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට හා ඥාතීන්ට විදෙස් අධ්‍යාපනය සඳහා මුදල් දී තිබෙනවා.
2005 වසරේ සිට 2014 වසර දක්වා ජනාධිපති අරමුදලින් විදෙස් ශිෂ්‍යත්ව සඳහා මුදල් දුන් පුද්ගලයන්ගේ නාම ලේඛනය මම සභාගත කරනවා. ඒ අනුව ඒ අතරින් කිහිපයක් සභාවේ දැන ගැනීම සඳහා කිව යුතුයි, එක් එක් පුද්ගලයන් හා දේශපාලන සම්බන්ධය මොකක්ද කියා දැනුම්වත් කිරීම සඳහා.
2005 වසරේදී දේශපාලනඥයාගේ නම සරත්චන්ද්‍ර රාජකරුණා, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී ගම්පහ දිස්ත්‍රික්කය. දරුවගේ නම හර්ෂණ සුපුන් රාජකරුණා. ශිෂ්‍යත්වයේ වටිනාකම මම සභාගත කරනවා.
2006 වසරේදී කරුණාසේන කොඩිතුවක්කු මහතා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී කොළඹ දිස්ත්‍රික්කය. දරුවාගේ හිතවතාගේ හෝ ඥාතියාගේ නම අයි.එන්. කොඩිතුවක්කු.
2006 වසරේදී වී. රාධක්‍රිෂ්ණන් මහතා. හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී. ජාතික ලැයිස්තුව. ශිෂ්‍යත්වලාභියා වන්නේ කේ. රාධක්‍රිෂ්ණන් මහත්මිය.
2006 වසරේදී දේශපාලන සබඳතා මත දිනේෂ් දොඩංගොඩට ශිෂ්‍යත්වයක් දී තිබෙනවා. ඒ වගේම 2006 වසරේදී කේ.කේ. පරණවිතාන යන අයට ශිෂ්‍යත්වයක් දී තිබෙනවා.
ඒ වගේම 2005 වසරේ සිට 2014 දක්වා කාලය තුළ දී ඇති ශිෂ්‍යත්වවලට වෙන් කර ඇති මුදල් ප්‍රමාණයන් ද සඳහන් කරනවා.
ඒ අනුව 2005 වසරේදී හැත්තෑතුන් මිලියන හාරලක්ෂ තිස්පන්දහස් හාරසිය හයක මුදලක් වෙන් කර තිබෙනවා.
2006දී හැටපන් මිලියන දහනව දහස් අටසිය අනූ හතක් දී තිබෙනවා.
2007දී 42 දෙනකු වෙනුවෙන් තිස්තුන් මිලියන තුන්ලක්ෂ හතළිස් හත් දහස් අසූ තුනක් දී තිබෙනවා.
2008දී 18 දෙනකු වෙනුවෙන් එකොළොස් මිලියන පනස් පන්දහස් දෙසිය පනහක් දී තිබෙනවා.
2009දී හතරදෙනකුට තුන් මිලියන නව ලක්ෂ පනස් දෙදහස් නවසිය හයක මුදලක් දී තිබෙනවා.
2010දී තුන්දෙනකු වෙනුවෙන් තුන් මිලියන හාරලක්ෂයක් දී තිබෙනවා.
2011දී දෙදෙනකු වෙනුවෙන් එක් මිලියන හයලක්ෂයක් දී තිබෙනවා.
2012දී දෙදෙනකු වෙනුවෙන් තුන් මිලියන දෙලක්ෂ තිස්දහස් දෙසිය තිස් අටක මුදලක් දී තිබෙනවා.
2014දී එක් අයකුට ලක්ෂ හතක මුදලක් දී තිබෙනවා.
මේ අනුව ජනාධිපති අරමුදලේ මුදල් පිළිබඳ පරීක්ෂා කිරීමේදී ඇමැතිවරුන්ගේ හා මන්ත්‍රීවරුන්ගේ දරුවන්ට, ඥාතීන්ට, හිතවතුන්ට ජනාධිපති අරමුදලින් මුදල් දී තිබෙනවා.
ඒ වගේම අනිත් අයගේ තොරතුරු දීර්ඝ ලේඛනයක්. එය සභාගත කරනවා.
මේ අයගෙන් පශ්චාද් උපාධිය නිම කර පැමිණි අය සම්බන්ධයෙන් ද මන්ත්‍රීවරයාගේ ප්‍රශ්නයෙන් විමසනවා. පැමිණි සහ නොපැමිණි අය සම්බන්ධ තොරතුරු ජනාධිපති අරමුදල සතුව නැහැ. ඒ අනුව නැවත පැමිණ නොමැති අය සම්බන්ධයෙන් මෙතෙක් ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. ඒ වගේම පවතින තොරතුරු අනුව නොපැමිණි අයට නීතිමය ක්‍රියාමාර්ග ගෙන නැහැ.
ඒ වගේම නොපැමිණි තැනැත්තන් වෙන් වෙන් වශයෙන් හඳුනාගෙන නොමැති බැවින් දැනට පවතින තොරතුරු අනුව ඔවුන් වෙනුවෙන් රජය දරන ලද මුදල් අය කර ගැනීම සම්බන්ධයෙන් ක්‍රියාමාර්ගයක් ගෙන නැති බවට තොරතුරු අනාවරණය වෙනවා.”
පාර්ලිමේන්තු මන්ත්‍රී රවීන්ද්‍ර බණ්ඩාර,
“ජනාධිපති අරමුදල අවභාවිත වූ බවට පසුගිය කාලය තුළ දිගින් දිගටම අනාවරණය වුණා. මේ තොරතුරු අනුවත් ජනාධිපති අරමුදල මඟින් විදෙස් ශිෂ්‍යත්ව ගැනීම සඳහා මැති ඇමැතිවරුන්ගේ දරුවන්, ඥාතීන්, හිතවතුන් වෙනුවෙන් දී තිබෙනවා. ඒ වගේම මේ මුදල් නැවත අය කර ගැනීමටත් කටයුතු කර නැහැ. පාර්ලිමේන්තුවේ අපි කෑම එක ඔතාගෙන යන බව කිව්වා ඇතැම් අය. වත්මන් පාර්ලිමේන්තුව තුළ සිටින අයගේ නම් කියැවුණා මේ ලැයිස්තු තුළ. ඒ නිසා මේ අයගෙන් මුදල් නැවත අය කර ගැනීමට කටයුතු කරනවා ද කියා දැන ගන්නට කැමතියි.”
අමාත්‍ය අනුර කරුණාතිලක,
“ජනාධිපති අරමුදල තිබෙන්නේ දුප්පත් මිනිසුන්ගේ සෞඛ්‍ය හා වෙනත් අවශ්‍යතා වෙනුවෙන් අවශ්‍ය විටෙකදී ඒ අය වෙනුවෙන් පිහිට වීමට. නමුත් දිගින් දිගටම මෙම අරමුදල අවභාවිත වී තිබෙනවා. මේ සිදුවීම් වෙලා තිබෙන්නේ 2014 වසරේදී. දැන් අපි සිටින්නේ දෙදහස් විසිපහේ. මේ දක්වා කිසිම ක්‍රියාමාර්ගයක් ගෙන නැහැ. නමුත් මේ සම්බන්ධයෙන් සොයා බලා ඒ අය නැවත ඇවිල්ලද, ඇවිල්ල නම් ඒ අය පැමිණ සිටින්නේ උසස් අධ්‍යාපන කටයුතු අවසන් කිරීමෙන් පසුවද ඇවිත් නැත්නම් ඒ මොකද, ශිෂ්‍යත්ව මුදල් ලබා ගන්නා විට කිසියම් ගිවිසුම්ගත වීමක් සිදු කර තිබේද ආදිය පිළිබඳ තොරතුරු සොයා බලා ඉදිරියේදී ඒ සම්බන්ධයෙන් ක්‍රියාමාර්ග ගැනීමට කැමතියි.”
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart