November 13, 2025

බලයෙන් නෙරපා හැරි බංග්ලාදේශයේ හිටපු අග්‍රාමාත්‍ය ශෙයික් හසීනා යළි එරටට පැමිණීම සඳහා කොන්දේසි ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව ඇය පවසන්නේ, තමන් යළි මව්රටට පැමිණීම රඳාපවතින්නේ ජනතාවගේ සහභාගීත්වයෙන් යුත් ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමය රට තුළ තත්ත්වයට පත්කිරීම, අවාමි ලීගයට පනවා තිබූ තහනම ඉවත් කිරීම සහ නිදහස්, සාධාරණ සහ සියල්ලන් ඇතුළත් මැතිවරණ පැවැත්වීම මත බවයි.

ඉන්දියාවේ හෙළිනොකළ ස්ථානයක සිට PTI පුවත් සේවය සමග පැවැති විශේෂ සම්මුඛ සාකච්ඡාවකදී, හසීනා පවසා ඇත්තේ, යූනුස් පරිපාලනය ඉන්දියාව සමඟ පවතින සබඳතා අනතුරේ හෙළන බව සහ අන්තවාදී බලවේග බලගන්වමින් සිටින බවයි.

එමෙන්ම ඇය පවසා ඇත්තේ, බංග්ලාදේශය සහ ඉන්දියාව අතර පවතින පුළුල් හා ගැඹුරු සම්බන්ධතාවයට යූනුස් නමැති අතරමැදියාගේ මෝඩකම දරාගත හැකිවිය යුතු බවයි.

තමාට රැකවරණය ලබාදීම සම්බන්ධයෙන් හසීනා ඉන්දීය රජයට ස්තූති කරන අතර, ඉන්දියානු රජයට සහ එහි ජනතාවට ඔවුන්ගේ කාරුණික ආගන්තුක සත්කාරය සඳහා අතිශයින් කෘතඥ වන බව ද ඇය පවසා ඇත.

විරෝධතා හමුවේ තත්වය පාලනය කරගැනීමට සිය රජයට නොහැකි වූ අතර එය කණගාටුදායක බව ද හසීනා පවසයි.

එමෙන්ම ඇය පෙන්වාදෙන්නේ, මෙම භයානක සිදුවීම්වලින් ඉගෙන ගත යුතු පාඩම් බොහොමයක් ඇති බවයි.

ලබන වසරේ පෙබරවාරි මාසයේදී පැවැත්වීමට නියමිත මැතිවරණය වර්ජනය කරන ලෙස ඇය ජනතාවගෙන් ඉල්ලා සිටි බවට පළවූ බව කියන ජනමාධ්‍ය වාර්තා ද හසීනා ප්‍රතික්ෂේප කරන අතර, අවාමි ලීගය හැර වෙනත් ඕනෑම මැතිවරණයකට නීත්‍යානුකූලභාවයක් නොමැති බව අවධාරනය කරයි.