September 4, 2025

අන්‍යෝන්‍ය තීරුබදු ක්‍රියාත්මක කිරීමේ ක්‍රමවේදයන් සකස් කිරීමේදී රජයේ බලධාරීන්ට සහාය වීම සඳහා අමෙරිකාවේ වෙළඳ නියෝජිත කාර්යාලයේ කණ්ඩායමක් මේ මස මැද වන විට ශ්‍රී ලංකාවට පැමිණෙනු ඇතැයි වාර්තා වේ.

ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ පරිපාලනයේ නව තීරුබදු වැඩසටහන යටතේ අමෙරිකාව එරට වෙළඳපොළට ඇතුළුවන මෙරට භාණ්ඩ සඳහා සියයට 20 ක තීරුබද්දක් පනවා තිබේ.

බංග්ලාදේශයට සහ වියට්නාමයට ද සියයට 20 ක තීරුබද්දක් පනවා ඇති අතර මැලේසියාව, ඉන්දුනීසියාව, තායිලන්තය සහ පාකිස්තානය වැනි රටවලට එම අගය 19% කි.

ඉන්දියාවට 50% ක තීරුබද්දක් පනවා ඇත.

කෙසේවෙතත් මෙරටට පැනවූ තීරුබදු ක්‍රියාත්මක කිරීම තක්සේරු කිරීම අමෙරිකානු වෙළඳ නියෝජිත කණ්ඩායමේ ඉදිරි සංචාරයේ අරමුණ බවත්, ඔවුන් තීරුබදු ක්‍රියාත්මක කිරීමේ තාක්ෂණික අංශ සොයාබලනු ඇති බවත් වාර්තා වේ.

ශ්‍රී ලංකාව සහ අමෙරිකාව අතර සමස්ත භාණ්ඩ වෙළඳාමේ 2024 දී ඇස්තමේන්තුගත අගය ඩොලර් බිලියන 3.4 ක් පමණ වේ.

2024 දී ශ්‍රී ලංකාවට එක්සත් ජනපදයේ භාණ්ඩ අපනයනය ඩොලර් මිලියන 366.7 ක් වූ අතර එය 2023 වසරට සාපේක්ෂව සියයට 4.6කින් වැඩිවීමකි.

2024 දී ශ්‍රී ලංකාවෙන් එක්සත් ජනපදය සිදුකළ භාණ්ඩ ආනයනය ඩොලර් බිලියන 3.0ක් වූ අතර එය 2023 සිට සියයට 6.1කින් වැඩිවීමක් පෙන්නුම් කර තිබේ.

වෙළඳ නියෝජිත කාර්යාලයේ සංඛ්‍යාලේඛනවලට අනුව, ශ්‍රී ලංකාව සමඟ එක්සත් ජනපද භාණ්ඩ වෙළඳ හිඟය 2024 දී ඩොලර් බිලියන 2.6 ක් වූ අතර එය 2023 ට වඩා සියයට 6.3 කින් වැඩිවීමක් පෙන්නුම් කරයි.

කෙසේවෙතත් එම වෙළඳ පරතරය අඩුකිරීම සඳහා එක්සත් ජනපදයෙන් තවත් මිලදී ගැනීම් සිදු කිරීමට ශ්‍රී ලංකාව එකඟ වී ඇත.

මේ වන විට, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව මෙරට භාවිතය සඳහා එක්සත් ජනපද WTI බොරතෙල් සාම්පල සාර්ථකව පරීක්ෂා කර ඇත.

අමාත්‍ය මණ්ඩලයේ අනුමැතියෙන් පසුව, මිල තරඟකාරිත්වය මත ශ්‍රී ලංකාවට ආනයනය කිරීම සඳහා මෙම බොරතෙල් ප්‍රභේදය අනුමත කිරීමට ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව සැලසුම් කරයි.

ශ්‍රී ලංකාව දැනට භාවිත කරන්නේ මර්බන් බොරතෙල් ය.

කෙසේවෙතත්, මුලින් යෝජිත අමෙරිකානු තීරුබද්ද වූ සියයට 44 අගය සියයට 20 දක්වා අඩුකිරීමට ශ්‍රී ලංකාව අමෙරිකාව සමග එකඟතා ඇති කරගත් අනෙකුත් ක්ෂේත්‍ර පිළිබඳව තවමත් පැහැදිලි නැත.