November 1, 2025

පුරාණ ලෝකයේ පුදුම හතෙන් එකක් වන ගීසා හි කුෆු මහා පිරමීඩය අසල ඉදිකර ඇති මහා ඊජිප්තු කෞතුකාගාරය නිල වශයෙන් විවෘත කර තිබේ.

ඊජිප්තුව නූතන යුගයේ සංස්කෘතික ඉස්මතු කිරීමක් ලෙසත් ලොව විශාලතම පුරාවිද්‍යා කෞතුකාගාරය ලෙසත් මෙය හඳුන්වයි.

මහා ඊජිප්තු කෞතුකාගාරය, පූර්ව රාජවංශ යුගයේ සිට ග්‍රීක සහ රෝම යුග දක්වා රටේ ඉතිහාසයේ සහස්‍ර හතක් පමණ ආවරණය කරන කෞතුක වස්තු 100,000කින් පමණ පිරී ඇත.

ප්‍රමුඛ ඊජිප්තු විද්‍යාඥයන් තර්ක කරන්නේ බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ ප්‍රදර්ශනය කර ඇති ප්‍රසිද්ධ රොසෙටා පාෂාණය ඇතුළුව අනෙකුත් රටවල රඳවා තබා ඇති ප්‍රධාන ඊජිප්තු පුරාවස්තු ආපසු ලබා දීම සඳහා ඇති ඉල්ලුම එහි ස්ථාපිත කිරීම ශක්තිමත් කරන බවයි.

මහා ඊජිප්තු කෞතුකාගාරයේ ප්‍රධාන ආකර්ෂණයක් වනුයේ බ්‍රිතාන්‍ය ඊජිප්තු විද්‍යාඥ හොවාර්ඩ් කාටර් විසින් එය සොයා ගැනීමෙන් පසු පළමු වරට එකට ප්‍රදර්ශනය කරන ලද ටූටන්කාමන්ගේ නොවෙනස්ව පවතින සොහොනෙහි සම්පූර්ණ අන්තර්ගතයයි.

ඊට ටූටන්කාමන්ගේ දර්ශනීය රන් වෙස් මුහුණ, සිංහාසනය සහ රථ ඇතුළත් වේ.

“1922 දී සොහොන් ගෙය සොයා ගැනීමෙන් පසු, සොහොන් ගෙය තුළ තිබූ 5,500කට අධික ප්‍රමාණයකින් කෑලි 1,800ක් පමණ ප්‍රදර්ශනය කර තිබූ නිසා, වෙනස් ආකාරයකින් ඔහුව පෙන්විය හැක්කේ කෙසේදැයි මට සිතා බැලීමට සිදු වුණා,” යැයි අන්තර්ජාතික ඊජිප්තු විද්‍යාඥයන්ගේ සංගමයේ සභාපති සහ මහා ඊජිප්තු කෞතුකාගාරයේ හිටපු ප්‍රධානී ආචාර්ය තාරෙක් තව්ෆික් පවසයි.

“සම්පූර්ණ සොහොන ප්‍රදර්ශනය කිරීමේ අදහස මට තිබුණා, ඔබට වසර සියයකට පෙර හොවාර්ඩ් කාටර් එය ලබා ගත් ආකාරයට සම්පූර්ණ අත්දැකීමක් ලබා ගත හැකියි.” යනුවෙන් ඔහු පැවසීය.

ඩොලර් බිලියන 1.2 ක් පමණ වැය වී ඇති මෙම විශාල කෞතුකාගාර සංකීර්ණය වසරකට අමුත්තන් මිලියන 8ක් දක්වා ආකර්ෂණය කර ගනු ඇතැයි අපේක්ෂා කරන අතර එය කලාපීය අර්බුදවලින් පීඩාවට පත්ව ඇති ඊජිප්තු සංචාරක ව්‍යාපාරයට විශාල තල්ලුවක් ලබා දෙනු ඇති බවට විශ්වාස කෙරේ.

“මහා ඊජිප්තු කෞතුකාගාරය ඊජිප්තු විද්‍යාවේ සහ සංස්කෘතික සංචාරක ව්‍යාපාරයේ නව ස්වර්ණමය යුගයක් උදා කරනු ඇතැයි අපි බලාපොරොත්තු වෙනවා,” ගීසා සානුවේ පිරමිඩවල මාර්ගෝපදේශක සහ ඊජිප්තු විද්‍යාඥ අහමඩ් සෙඩ්ඩික් පවසයි.

ටූටන්කාමුන් ප්‍රදර්ශනය සහ පුරාණ කාලයේ සිට පැරණිතම සහ හොඳම සංරක්ෂිත යාත්‍රාවලින් එකක් වන කුෆුගේ දර්ශනීය, වසර 4,500ක් පැරණි අවමංගල්‍ය බෝට්ටුවේ නව ප්‍රදර්ශනයක් හැරුණු විට, එම ස්ථානයේ ඇති බොහෝ දේ පසුගිය වසරේ සිට මහජනතාව සඳහා විවෘත කර ඇත.

“කෞතුකාගාරය අර්ධ වශයෙන් විවෘතව තිබුණත් දැන් එය එහි තේජසේ උච්චතම අවස්ථාවට ඇවිත්. ටූටන්කාමුන් එකතුව විවෘත වූ විට, මුළු ලෝකයම නැවත පැමිණෙයි, මන්ද මෙය පුරාණයේ වඩාත්ම ප්‍රසිද්ධ රජු වන සංකේතාත්මක පාරාවෝ නිසා.” ඔහු පැවසීය.

“එය නියත වශයෙන්ම නැරඹිය යුතු දෙයක්,” නොවැම්බර් 4 වැනිදා මහජන විවෘත කිරීම බලාපොරොත්තුවෙන් සිටින ස්පාඤ්ඤ සංචාරක රාවුල් පවසයි.

නව කෞතුකාගාරය දැවැන්ත වන අතර එය වර්ග මීටර් 500,000ක භූමි ප්‍රමාණයකින් යුක්ත වේ.

එනම් පාපන්දු පිටි 70ක පමණ ප්‍රමාණයකින් යුක්ත වේ.

පිටත කොටස පිරමීඩ හැඩැති පිවිසුමක් සහිත ත්‍රිකෝණවලට කපා ඇති හයිරොග්ලිෆ් සහ පාරභාසක ඇලබැස්ටර්වලින් ආවරණය වී ඇත.

මහා ඊජිප්තු කෞතුකාගාරයේ ප්‍රදර්ශන භාණ්ඩ අතර බලවත් පාරාවෝ වන දෙවැනි රැම්සෙස්ගේ අවුරුදු 3,20 ක් පැරණි, මීටර් 16ක් දිග එල්ලෙන ඔබලිස්ක් එකක් සහ ඔහුගේ මීටර් 11ක් උස දැවැන්ත ප්‍රතිමාවක් ඇත.

නව ආයතනය සඳහා සූදානම් වීමේ සංකීර්ණ මෙහෙයුමකදී 2006 දී කයිරෝ දුම්රිය ස්ථානය අසල සිට මෙම දැවැන්ත ප්‍රතිමාව ගෙන යන ලදී.

අනෙකුත් පුරාණ රජවරුන්ගේ සහ රැජිනියන්ගේ ප්‍රතිමාවලින් සමන්විත යෝධ පඩිපෙළක් ද වන අතර ඉහළ මහලේ විශාල කවුළුවකින් ගීසා පිරමිඩවල පරිපූර්ණ රාමු සහිත දසුනක් ලබා දේ.

කෞතුකාගාරය ප්‍රථම වරට යෝජනා කරන ලද්දේ 1992 දී ජනාධිපති හොස්නි මුබාරක්ගේ පාලන සමයේදී වන අතර ඉදිකිරීම් ආරම්භ වූයේ 2005 දී ය.

මෙම ව්‍යාපෘතිය මූල්‍ය අර්බුද, 2011 මුබාරක් බලයෙන් පහ කර වසර ගණනාවක කැලඹිලි වලට තුඩු දුන් අරාබි වසන්තය, කොවිඩ් -19 වසංගතය සහ කලාපීය යුද්ධ මගින් පීඩාවට පත් විය.