
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
රජයේ රෝහලකදී ඇසේ සුද ඉවත් කිරීමේ සැත්කම්වලින් පසු ‘ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේටේන්’ අක්ෂි බිංදු භාවිත කිරීම හේතුවෙන් සදාකාලික පෙනීම අහිමි වූ රෝගීන් තිදෙනෙකු හිටපු සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ලගෙන් රුපියල් මිලියන 300ක් ඉල්ලා කොළඹ දිසා අධිකරණය හමුවේ අද නඩු පවරා තිබේ.
ඊට අමතරව තමන්ගේ ඇස්වලට සිදු වූ හානිය සහ ඔවුන්ගේ ජීවිතවලට ඇති විය හැකි තර්ජන සම්බන්ධයෙන් තවත් දස දෙනෙකු ද එලෙසින්ම නඩු පවරා ඇත.
කෙහෙළිය රඹුක්වැල්ල, ජානක චන්ද්‍රගුප්ත, ජාතික ඖෂධ නියාමන අධිකාරිය, මහාචාර්ය එස්.ඩී. ජයරත්න, වෛද්‍ය විජිත් ගුණසේකර, වෛද්‍ය අසේල ගුණවර්ධන, වෛද්‍ය රොහාන් එදිරිසිංහ, වෛද්‍ය මහේන්ද්‍ර සෙනෙවිරත්න, යක්කල චමී කෙමිස්ට් (පුද්ගලික) සමාගම, ඉන්දියානා ඔෆ්තාල්මික්ස් එල්එල්පී සමාගම සහ නීතිපතිවරයා මෙම පැමිණිලිවල විත්තිකරුවන් ලෙස නම් කර තිබේ.
තමා නුවරඑළිය මහ රෝහලට ඇතුළත් වූ පසු එහි වෛද්‍ය කාර්ය මණ්ඩලය විසින් 2023 අප්‍රේල් 05 වැනි දින ඇසේ සුද ඉවත් කිරීමේ ශල්‍යකර්මයකට භාජනය කළ බව කඳපොළ ප්‍රදේශයේ පදිංචි පැමිණිලිකරු වන මක්කාරි රාජරත්නම් සිය පැමිණිල්ලේ සඳහන් කර ඇත.
ඉන් අනතුරුව 2023 අප්‍රේල් 06 දින රෝහලෙන් මුදා හැරුණු බවත් ශල්‍යකර්මය නිමවා සුවය ලැබීමේ ප්‍රතිකාරයක් සහ රැකවරණයක් ලෙස ඉන්දියානා ඔප්තාල්මික්ස් එල්එල්පී ඉන්ඩියා විසින් නිෂ්පාදනය කරන ලද ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් අක්ෂි බිංදු භාවිත කරන ලෙස නුවරඑළිය රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලය උපදෙස් දුන් බවත් එය රෝහලෙන් ලබා දුන් බවත් පැමිණිලිකරු සඳහන් කරයි.
ඉහත කී අක්ෂි බිංදු කිහිපයක් යෙදීමෙන් පසු 2023 අප්‍රේල් 19 හෝ ඊට ආසන්න දිනකදී තමන්ට කඳුළු, අපහසුතා, වේදනාව සහ හිසරදය ඇති වූ බව ඔහු වැඩිදුරටත් සඳහන් කර ඇත.
2023 මැයි 10 වැනි දින වැඩිදුර වෛද්‍ය පරීක්‍ෂණයක් සිදු කර ජාතික අක්ෂි රෝහලට ඇතුළත් කිරීමේදී එම ප්‍රෙඩ්නිසොලෝන් ඇසිටේට් අක්ෂි බිංදු ප්‍රතිකාර කළ තමන්ට ක්‍රමක්‍රමයෙන් ඇසේ පෙනීම අඩුවෙමින් පවතින බව නිරීක්ෂණය වූ බව පැමිණිලිකරු වැඩිදුරටත් සඳහන් කරයි.
ප්‍රමිති පරීක්ෂණවලට අනුකූල නොවීම හේතුවෙන් එම අක්ෂි බිංදු ප්‍රමිතියෙන් තොර බවත් එම ඖෂධය භාවිත කළ රෝගීන්ට එන්ඩොෆ්තැනයිටිස් රෝගය වැළඳී ඇති බවත් පැමිණිලිකරු වැඩිදුරටත් සඳහන් කරයි.
විත්තිකරුවන් එකොළොස් දෙනාගෙන් වන්දි ඉල්ලා ඉන්වික්ටස් නීති ආයතනයේ නීතිඥ සම්පත් විජේවර්ධන, තමාලි කුරුප්පු සහ ප්‍රවින්කා රත්නසේකර යන මාර්ගයෙන් පැමිණිලිකරු මෙම නඩු ගොනු කර ඇත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart