
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
විධායක ජනාධිපති ධුරය අහෝසි කර පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපනය කිරීමට පියවර ගනිමින් සිටින බවත්, විධායක බලතල නොමැති ජනාධිපතිවරයකු පත් කිරීමට කටයුතු කරන බවත් අගමැතිනි ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනතේ විධිවිධාන හේතුවෙන් ඇනහිට ඇති පළාත් සභා මැතිවරණ පැවැත්වීමට මේ වන විට කටයුතු කරමින් සිටින බව ද අගමැතිනිය වැඩිදුරටත් පැවසීය.
ස්ථාවර නියෝග 27(2) යටතේ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් අගමැතිවරිය ඊයේ පාර්ලිමේන්තුවේදී මෙම අදහස් පළ කළාය.
‘පොහොසත් රටක් – ලස්සන ජීවිතයක්’ ප්‍රතිපත්ති ප්රකාශනයේ 194 පිටුවේ සඳහන් කර ඇති පරිදි, රජය නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීමට සැලසුම් කර තිබේ.
මෙම කෙටුම්පත මහජනතාවට ඉදිරිපත් කර සංවාදයක් සහ සාකච්ඡාවක් පවත්වා, ඉන්පසුව අවශ්‍ය සංශෝධන සිදුකරනු ලැබේ.
ඉන්පසු ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ජනමත විචාරණයකින් අනුමත කිරීමට අපේක්ෂා කෙරේ.
වර්තමානයේ, නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් කෙටුම්පත් කිරීම සඳහා කලින් පත් කරන ලද කමිටු වාර්තා සහ අනෙකුත් ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ යෝජනා සළකා බලනු ලැබේ.
ඉන්පසු, අමාත්‍ය මණ්ඩලයට මූලික සංකල්ප පත්‍රිකාවක් ඉදිරිපත් කරනු ලැබේ.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට සහ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක් ස්ථාපිත කිරීමට අවශ්‍ය පියවර ගනු ලබන අතර, විධායක බලතල නොමැති ජනාධිපතිවරයකු පත් කිරීම නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ ක්‍රියාවලියේදී සිදු කෙරේ.
නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් හඳුන්වා දීමෙන් තොරව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කළ නොහැක.
විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම සහ එම ක්‍රියාවලියේ ඇති විය හැකි ක්‍රම පිළිබඳ දැනට අධ්‍යයනයක් සිදුවෙමින් පවතී.
රටේ දැවෙන ගැටළු විසඳීම කෙරෙහි නිසි අවධානයක් යොමු කරන අතරම, විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම කෙරෙහි ද අවධානය යොමු කර ඇත.
අදාළ කාලරාමු නියමිත වේලාවට ප්‍රකාශයට පත් කෙරේ.
හැකි ඉක්මනින් පළාත් සභා මැතිවරණය පැවැත්වීමට දැනට පියවර ගනිමින් සිටී.
2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනතේ 3(ආ) වගන්තිය යටතේ, ජනාධිපතිවරයා විසින් පත් කරන ලද සීමා නිර්ණය කොමිසමක් මැතිවරණ කොට්ඨාස සීමානිර්ණය කිරීම සහ මැතිවරණ දිස්ත්‍රික්ක ගණන තීරණය කරන වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය.
මෙම වාර්තාවට පාර්ලිමේන්තු අනුමැතිය ලැබුණු පසු, පළාත් සභා මැතිවරණය පැවැත්වීමට හැකිවනු ඇත.
2017 අංක 17 දරන පළාත් සභා මැතිවරණ (සංශෝධන) පනතේ විධිවිධාන යටතේ අවශ්‍ය සීමානිර්ණ ක්‍රියාවලිය තවමත් අවසන් වී නොමැති නිසා පළාත් සභා මැතිවරණය මේ දක්වා පැවැත්වීමට නොහැකි වී තිබේ.
ඒ අනුව, සීමා නිර්ණ ක්‍රියාවලිය අවසන් කිරීමෙන් පසු මැතිවරණ පැවැත්විය යුතුද, නැතහොත් මැතිවරණ ඉදිරියට ගෙන යෑම සඳහා 2017 අංක 17 දරන පනතේ විධිවිධානවලට සංශෝධන හඳුන්වා දිය යුතුද යන්න තීරණය කිරීම සඳහා ද අධ්‍යයනයක් දැනට සිදු කෙරෙමින් පවතී.
මෙම අධ්‍යයනය අවසන් වූ පසු පළාත් සභා මැතිවරණය පැවැත්වීම පිළිබඳ තීරණයක් ගනු ලැබේ.
කෙසේවෙතත්, මෙම ක්‍රියාවලි අවසන් වූ පසු මැතිවරණය පැවැත්වීම සඳහා 2026 අයවැයෙන් ප්‍රතිපාදන වෙන් කර ඇත.
නව නීති සම්පාදනය හඳුන්වාදීම සහ රජයේ අභිචෝදක කාර්යාලයක් පිහිටුවීම සඳහා අවශ්‍ය නීතිමය සංශෝධන සම්බන්ධයෙන් අධ්‍යයනයන් දැනට සිදුවෙමින් පවතින බව අග්‍රාමාත්‍යවරිය තවදුරටත් පැවසුවාය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart