March 4, 2024

ඉදිරි ජනාධිපතිවරණයට පෙර පාර්ලිමේන්තු මැතිවරණයක් පැවැත්වුවහොත් ඊට මුහුණදීමට සූදානම් බව ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ ප්‍රකාශ කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් ජනාධිපතිවරණයට පෙර කඩිනමින් පාර්ලිමේන්තු මැතිවරණයක් පවත්වන ලෙස ඉල්ලා ඇති බව පසුගියදා වාර්තා විය.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ප්‍රධාන ලේකම්, පාර්ලිමේන්තු මන්ත්‍රී නීතිඥ සාගර කාරියවසම් පවසන්නේ, ජනාධිපතිවරණය හෝ වේවා පාර්ලිමේන්තු මැතිවරණය හෝ වේවා ඕනෑම මැතිවරණයකට තම පක්ෂය සූදානම් බවයි.

2020 පාර්ලිමේන්තු මැතිවරණයේදී ලැබුණු ජනවරම තම පක්ෂයට දැන් නොමැති බවට ඇතැම් පාර්ශ්ව අදහස් පළකරන බවත්, එය පරීක්ෂා කළ හැකි එකම මාර්ගය පාර්ලිමේන්තු මැතිවරණයකට යෑම බවත්, ඒ සඳහා සූදානම් බවත් ඔහු සඳහන් කරයි.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව ජනාධිපතිවරණය පැවැත්විය හැක්කේ මේ වසර අවසානය වන විට පමණක් වුවත්, ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවා හැරියහොත් පාර්ලිමේන්තු මැතිවරණය ඊට පෙර පැවැත්විය හැකි බවත් සාගර කාරියවසම් පවසයි.

“පාර්ලිමේන්තු මැතිවරණය ජනාධිපතිවරණයට පෙර පැවැත්විය යුතු යැයි අපි කියන්නේ නැහැ. අපි කියන්නේ ඕනෑම දෙයකට මුහුණ දෙන්න අපි සූදානම් කියලයි ” යනුවෙන් ඔහු පැවසීය.

මේ වසරේ (2024) පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණයත් සමඟ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ඇතැම් මන්ත්‍රීවරුන් වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහට සහාය දැක්වීමට කැමැත්ත පළකර ඇති අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ තමන්ගේම ජනාධිපති අපේක්ෂකයකු ඉදිරිපත් කළයුතු බව තවත් සමහරුන්ගේ අදහස වී තිබේ.

කෙසේවෙතත්, සාගර කාරියවසම් පසුගියදා ප්‍රකාශ කළේ, ඉදිරි මැතිවරණ සම්බන්ධයෙන් එහි ඇතැම් සාමාජිකයන් පළකරන අදහස් ඔවුන්ගේ පෞද්ගලික අදහස් පමණක් වන අතර, බිම් මට්ටමේ දේශපාලන තත්ත්වය පිළිබඳ පුළුල් ඇගයීමක් සහ සමීක්ෂණයක් සිදු කර පක්ෂයක් ලෙස තීරණයකට එළඹෙන බවයි.(The Morning)