January 18, 2026

අධිරාජ්‍යයන් සැමවිටම පැමිණෙන්නේ ධජ, ගිවිසුම් හෝ හමුදාවන් සමඟ නොවේ. සමහර විට, ඔවුන් පැමිණෙන්නේ රටකට නොව, එහි නායකයාට යවන පණිවිඩයක් සමඟිනි. ඉතිහාසය පෙන්නුම් කරන්නේ, බලවත් රටවලට වෙනත් රාජ්‍යයක් පාලනය කිරීම සඳහා සෑම විටම භූමිය ආක්‍රමණය කිරීමට අවශ්‍ය නොවන බවයි. ඒ වෙනුවට, ඔවුන් බොහෝවිට වගකිව යුතු පුද්ගලයෙක් ඉලක්ක කරයි. නායකයා ඉලක්කය බවට පත්වන අතර එමගින් අනෙක් අයට අනතුරු ඇඟවීමක් සිදුකරනු ලබයි.

මෙම ක්‍රමය පැරණි ය, නමුත් එය අදටත් භාවිතා වේ. භූමිය ආරක්ෂා කර දේශසීමා ආරක්ෂා කළ හැකිය. නමුත් නායකයෙකු අවදානමට ලක්විය හැකිය. පාලකයෙකු හුදකලා වුවහොත්, අත්අඩංගුවට ගනු ලැබුවහොත්, අපහසුතාවයට පත්වුවහොත් හෝ නීත්‍යානුකූලව කොටුවුවහොත්, ඔවුන් වටා ඇති මුළු දේශපාලන ක්‍රමයම සෙලවීමට පටන් ගනී. එහි සැබෑ පණිවිඩය “අපි ශක්තිමත්” පමණක් නොව “අපට ඔබ වෙත ළඟා විය හැකිය” යන්නයි.

1400 ගණන්වල මුල් භාගයේදී, මිං චීනය මෙය ශ්‍රී ලංකාවේ පැහැදිලිව පෙන්නුම් කළේය. එකල ශ්‍රී ලංකාවේ අභ්‍යන්තර දේශපාලන අරගල පැවැතිණි. අලකේශ්වර රජු චීන ඉල්ලීම්වලට විරුද්ධ වූ අතර චීන දූතයින්ට අභියෝග කළේය. මිං චීනයට මෙය කුඩා ප්‍රශ්නයක් නොවීය. එය අධිරාජ්‍ය අධිකාරියට අපහාසයක් විය. අධිරාජ්‍යයන් සඳහා, කීර්තිය ඉතා වැදගත් වේ. එය ප්‍රශ්න කළහොත්, තවත් පාර්ශ්වද ඊට විරුද්ධ වීමට පටන්ගත හැකිය.

චීනය ප්‍රතිචාර දැක්වූයේ ප්‍රබල පණිවිඩයක් යැවීමේ අරමුණිනි. චීනය හමුදා බලකායක් යවා, අලකේෂ්වර රජු අල්ලාගෙන, සැතපුම් දහස් ගණනක් ඈත චීනයට ගෙන ගියේය. මෙම ක්‍රියාව සංකේතාත්මක විය. චීනයට හමුදාවක් පරාජය කිරීමට පමණක් නොව පාලකයෙකු ඉවත් කළ හැකි බව එයින් පෙන්නුම් කළේය. බලය කෙළින්ම රජුගෙන්ම ලබාගන්නා ලදී.

චීනයේදී අලකේෂ්වරව, ඔහුගේ රටෙන් සහ ආධාරකරුවන්ගෙන් බොහෝ දුරස්ව විනිශ්චය කරන ලදී. මෙය හුදෙක් දඬුවමක් නොවේ. එය මහජන ප්‍රදර්ශනයක් විය. කලාපයට පණිවිඩය පැහැදිලි විය: ‘අධිරාජ්‍යයට අභියෝග කිරීමෙන් ඔබේ ඔටුන්න ආරක්ෂා කළ නොහැක’.

වැදගත් ලෙස, චීනය ශ්‍රී ලංකාව අත්පත් කර ගත්තේ හෝ යටත් විජිතයක් බවට පත්කළේ නැත. දේශසීමා ඇඳීමක් කළේ නැත. ඒ වෙනුවට, චීනය තම අවශ්‍යතාවලට ගැලපෙන තවත් පාලකයෙකුට සහාය දුන්නේය. චීනය සෘජුවම රට පාලනය නොකර බලය ලබාගත්තේය. මෙය යටත් විජිතකරණයකින් තොරව පාලනය කිරීමයි.

මෙම අදහස අදටත් අදාළ වේ. ඔබේ නායකත්වයට ‘බිය’ කැවිය හැකි නම් බලවත් රටකට ඔබේ භූමියේ තම ධජය යටතේ තැබීමට අවශ්‍ය නොවේ.

වර්තමානයේ, වෙනිසියුලාවට එක්සත් ජනපදයේ ප්‍රවේශය තුළ මීට සමාන ක්‍රම දැකිය හැකිය. ආක්‍රමණය කිරීම වෙනුවට, එක්සත් ජනපදය වෙනිසියුලාවේ ජනාධිපතිවරයාට සහ ඔහුගේ සමීප සගයන්ට එරෙහිව සම්බාධක, නීතිමය ක්‍රියාමාර්ග, අත්අඩංගුවට ගැනීමේ වරෙන්තු සහ ජාත්‍යන්තර පීඩනය භාවිත කර ඇත. එහිදී අවධානය යොමුවන්නේ භූමිය වෙත නොව, නායකයාගේ නීත්‍යානුකූලභාවය, චලනය සහ පැවැත්ම කෙරෙහිය.

නීති සහ ආයතන වර්තමාන යුගයේ අධිරාජ්‍යයේ ක්‍රියාවලියයි. සොල්දාදුවන් අධිකරණ, බැංකු සහ රාජ්‍යතාන්ත්‍රික ක්‍රියාමාර්ග මගින් ප්‍රතිස්ථාපනය වේ. නමුත් උපාය මාර්ගය සමාන ය: නායකයාට පීඩනය යෙදීම සහ සමස්ත පද්ධතියටම එමගින් බලපෑම දැනේ. නායකයෙකු හුදකලා වූ විට, පක්ෂපාතීත්වය දුර්වල වේ, සන්ධාන බිඳී යයි, සහ බාහිර බලවතුන් බලපෑම ලබාගනී.

සම්බාධක සහ නීතිමය ක්‍රියාමාර්ග බොහෝ විට යුද්ධයට සාමකාමී විකල්ප ලෙස විස්තර කෙරේ. නමුත් ඒවා මධ්‍යස්ථ නොවේ. ඒවා නායකයා භයානක හෝ නීත්‍යානුකූල නොවන බවට පණිවිඩයක් යවයි. රට සම්පූර්ණව පැවතුණත්, නායකයා දේශපාලනික වශයෙන් විෂ සහිත වේ. නායකත්වය දුර්වල වූ විට, පාලනය කිරීම දුෂ්කර වේ.

මිං යුගයේ ශ්‍රී ලංකාව සහ නූතන වෙනිසියුලාව සම්බන්ධ කරන්නේ එකම තර්කනයයි. මෙවලම් වෙනස් වී ඇත, නමුත් පණිවිඩය තවමත් පවතී: ප්‍රතිරෝධය පෞද්ගලිකය. නායකයා ආදර්ශය බවට පත්වන අතර දඬුවම මතක තබාගත යුතුය.

එහි මානසික බලපෑමක් ද ඇත. නායකයකු පෞද්ගලිකව ඉලක්ක කරගත් විට, පද්ධතිය තුළ භීතිය පැතිර යයි. මිත්‍ර පාක්ෂිකයන්, නිලධාරීන් සහ ආයතන තමන්ගේම අනාගතය ගැන කරදර වීමට පටන් ගනී. රාජ්‍යය දුර්වල වන්නේ එය ආක්‍රමණය කළ නිසා නොව, එහි නායකත්වය පීඩනයට ලක් වූ නිසාය.

මෙම උදාහරණවලින් පෙන්නුම් කරන්නේ බලය පිළිබඳ කල් පවතින සත්‍යයකි. පාලනයට සැමවිටම භුමිය අත්පත් කරගැනීම අවශ්‍ය නොවේ. සමහර විට, බලය ඇත්තේ කාටද, දඬුවම් කළ හැක්කේ කාටද සහ කීකරු විය යුත්තේ කවුරුන්ද යන්න පිළිබඳ කතාව පාලනය කිරීම පමණක් අවශ්‍ය වේ. ඉලක්කය සැමවිටම රටක් පාලනය කිරීම නොව, එහි නායකයන්ට ඔවුන් දැනටමත් පාලනය කරනු ලබනවාක් මෙන් ක්‍රියාකිරීමට සැලැස්වීමයි.

මෙය වඩාත්ම කරදරකාරී පාඩමයි. ස්වෛරීභාවය දේශසීමා ගැන පමණක් නොවේ. බාහිර බලය නායකයන්ට, ඔවුන්ගේ නීත්‍යානුකූලභාවයට සහ ඔවුන්ගේ පෞද්ගලික ආරක්ෂාවට කොපමණ බලපෑමක් කළ හැකිද යන්න ගැන ද අදාළ වේ. අධිරාජ්‍යයන් නායකයන් උදාහරණ බවට පත්කරන විට, ස්වාධීනත්වය පරීක්ෂා කරනු ලබන්නේ දේශසීමාවේදී නොව, විරුද්ධ වීමට එඩිතර වන අය විසින් ගෙවනු ලබන පෞද්ගලික කැපකිරිමෙනි.