May 30, 2025

කොත්මලේ, ගැරඬි ඇල්ල ප්‍රදේශයේ සිදු වූ මාරක බස් රථ අනතුරට ප්‍රධාන හේතුව රියැදුරුගේ තෙහෙට්ටුව ලෙස හඳුනාගෙන ඇත.

මෙම අනතුර සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කරන ලද විශේෂඥ කමිටුව අනාවරණය කර ඇත්තේ, මෝටර් රථ ප්‍රවාහන පනත යටතේ දැක්වෙන අනිවාර්ය විවේක ගැනීමේ රෙගුලාසි උල්ලංඝනය වී ඇති බවයි.

පනතේ 169(1) සහ 169(2) වගන්තිවලට අනුව, රියැදුරන් සෑම පැය හතරහමාරකට පසු අවම වශයෙන් මිනිත්තු 30 ක විවේකයක් ගතයුතු බව විමර්ශන කමිටුව විසින් සම්පාදනය කරන ලද අවසන් වාර්තාවේ සඳහන් කර ඇති අතර, විවේකය මිනිත්තු 30 කට වඩා අඩු නම්, මුළු රිය පැදවීමේ කාලය නීත්‍යානුකූලව අඛණ්ඩ වූවා සේ සලකනු ලබන බව සඳහන් කරයි.

බස් රථයේ රියදුරු වැලිමඩහිදී විනාඩි 15 ක විවේකයක් පමණක් ලබාගෙන ඇති බවත්, නීතිය යටතේ එය ප්‍රමාණවත් නොවන බවත්, එහි ප්‍රතිඵලයක් ලෙස, අනතුර සිදු වූ අවස්ථාවේ ඔහු පැය හයහමාරකට වැඩි කාලයක් අඛණ්ඩව රිය පදවා ඇති බැවින්, එය පනත සෘජුවම උල්ලංඝනය කරන බවත් කමිටුව පෙන්වාදෙයි.

ශ්‍රී ලංකා ප්‍රවාහන මණ්ඩලය යටතේ ක්‍රියාත්මක වූ බස් රථය, කතරගම සිට නුවරඑළිය හරහා කුරුණෑගල දක්වා ගමන් කරමින් තිබිණි.

එය නුවරඑළිය-ගම්පොල ප්‍රධාන මාර්ගයේ රම්බොඩ හි ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී අලුයම මාර්ගයෙන් ඉවතට පැන විශාල ප්‍රපාතයකට පෙරළී ගියේය.

අනතුරින් කාන්තාවන් පස්දෙනකු ඇතුළුව 23 දෙනකු මියගිය බව වාර්තා වූ අතර තවත් 60 දෙනකු තුවාල ලබා රෝහල්වලට ඇතුළත් කර ඇත.

මියගිය අය අතර එම බස්රථ රියදුරු ද විය.