June 28, 2025

බත්තරමුල්ලේ පිහිටි තම ප්‍රධාන කාර්යාලයට පැමිණෙන පුද්ගලයන්ගෙන් විදේශ ගමන් බලපත්‍ර අයැදුම්පත් ඉදිරිපත් කිරීම කඩිනම් කිරීම සඳහා තැරැව්කරුවන්ගේ ගොදුරක් නොවන ලෙස ආගමන හා විගමන දෙපාර්තමේන්තුව ඉල්ලා සිටී.

නිවේදනයක් නිකුත් කරමින් ආගමන හා විගමන දෙපාර්තමේන්තුව සඳහන් කළේ, එක්දින සහ සාමාන්‍ය සේවාව යටතේ විදේශ ගමන් බලපත්‍ර ඉදිරිපත් කිරීම සඳහා ටෝකන් නිකුත් කිරීම බත්තරමුල්ලේ පිහිටි ප්‍රධාන කාර්යාලයේදී පෙ.ව. 6:30 සිට ප.ව. 2:00 දක්වා සිදුකරන බවයි.

පෙබරවාරි 18 සිට ක්‍රියාත්මක කරන ලද ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ එක්දින ගමන් බලපත්‍ර සේවාව පැය 24 පුරා නිකුත් කිරීම මැයි 30 වැනි දින අවසන් විය.

ඒ අනුව, සාමාන්‍ය සේවා අයැදුම්පත් පෙ.ව. 7:00 සිට ප.ව. 2:00 දක්වා ප්‍රධාන කාර්යාලයේදී පිළිගනු ලැබේ.

එක්දින සේවාව යටතේ දැනටමත් දිනයක් වෙන්කරගත් අයැදුම්කරුවන්ට මෙන්ම හදිසි හෝ ප්‍රමුඛතා අවශ්‍යතා ඇති අයටද මෙම කාලය තුළ අයැදුම්පත් ඉදිරිපත් කළ හැකි බව දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පැවසීය.

කෙසේවෙතත්, විදේශ ගමන් බලපත්‍ර අයදුම්පත් ඉදිරිපත් කිරීම කඩිනම් කිරීම සඳහා ආගමන හා විගමන දෙපාර්තමේන්තුවේ පරිශ්‍රය තුළ හෝ පිටත කිසිදු තැරැව්කරුවකුට හෝ වෙනත් ඕනෑම පුද්ගලයකුට මුදල් ගෙවීමෙන් වළකින ලෙසත්, ගෙවීම් කුවිතාන්සිය ලබාගැනීමට සහ නිකුත් කරන කවුන්ටරයෙන් විදේශ ගමන් බලපත්‍රය ලබාගැනීමට සරප් කවුන්ටරයට අවශ්‍ය ගාස්තුව පමණක් ගෙවන ලෙසත් අයැදුම්කරුවන්ගෙන් ඉල්ලා සිටී.