September 3, 2025

තම බිරිඳගේ සමේ පැහැයට අකමැති නිසා ඇය පණපිටින් පුළුස්සා දැමීම සම්බන්ධයෙන් ඉන්දියාවේ අධිකරණයක් පුරුෂයකුට මරණ දඬුවම නියම කර තිබේ.

මරණයට පෙර ලබාදුන් ප්‍රකාශවල ලක්ෂ්මි පවසා ඇත්තේ ඇගේ සැමියා වන කිෂාන්දාස් ‘අඳුරු සමක් ඇති නිසා ඇයට නිතිපතා නින්දා කළ’ බවයි.

උතුරු උදයිපූර් නගරයේ දිස්ත්‍රික් විනිසුරු රාහුල් චෞද්රි මරණ දඬුවම පැහැදිලි කරමින් කියා සිටියේ මෙම ඝාතනය ‘දුර්ලභතම දුර්ලභ’ කාණ්ඩයට අයත් බවත් එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බවත්ය.

කිෂාන්දාස්ගේ නීතිඥවරයා බීබීසීයට පැවසුවේ තම සේවාදායකයා නිර්දෝෂී බැවින් ඔවුන් නියෝගයට එරෙහිව අභියාචනයක් ඉදිරිපත් කරන බවයි.

වසර අටකට පෙර ලක්ෂ්මිගේ සිදුවූ ඝාතනය සහ සති අන්තයේ ලබා දුන් තීන්දුව රටේ සිරස්තල බවට පත් කර ඇත.

ලක්ෂ්මිට පහරදීම සිදු වූයේ 2017 ජුනි 24 වැනිදා රාත්‍රියේ බව අධිකරණ නියෝගයට අනුව කියැවී තිබිණි.

ඇය මරණයට පෙර පොලිසියට, වෛද්‍යවරුන්ට සහ විධායක මහේස්ත්‍රාත්වරයකුට ලබා දුන් ප්‍රකාශ තීන්දුවේ දී උපුටා දක්වා තිබිණි.

ලක්ෂ්මි පැවසුවේ ඇගේ සැමියා බොහෝ විට ඇයට ‘කාලි’ හෙවත් අඳුරු සමක් ඇති බව පැවසූ බවත්, 2016 දී ඔවුන්ගේ විවාහයෙන් පසු ශරීරය ගැන කියමින් ඇයට ලැජ්ජාවට පත් කළ බවත්ය.

ඇය මිය ගිය රාත්‍රියේ, කිෂාන්දාස් දුඹුරු පැහැති දියරයක් සහිත ප්ලාස්ටික් බෝතලයක් ගෙනැවිත් එය ඇගේ සම පැහැපත් කිරීමේ ඖෂධයක් බව පවසා තිබේ.

ප්‍රකාශයන්ට අනුව, ඔහු එම දියරය ඇගේ සිරුරට ආලේප කළ අතර එය ඇසිඩ් සුවඳක් ඇති බවට ඇය පැමිණිලි කළ විට, ඔහු සුවඳ දුම් පොල්ලකින් ඇයට ගිනි තබා ඇත.

ඇගේ සිරුර පිළිස්සීමට පටන් ගත් විට, ඔහු ඉතිරි දියරය ඇය මත වත්කර පලා ගොස් තිබේ.

කිෂාන්දාස්ගේ මව්පියන් සහ සහෝදරිය ඇයව රෝහලට ගෙන ගිය අතර එහිදී ඇය පසුව මිය ගොස් තිබිණි.

“මෙම හද කම්පා කරවන කුරිරු අපරාධය ලක්ෂ්මිට එරෙහිව පමණක් නොව, එය මනුෂ්‍යත්වයට එරෙහි අපරාධයක් බව පැවසීම අතිශයෝක්තියක් නොවනු ඇත,” යනුවෙන් විනිසුරු චෞද්රි ඔහුගේ නියෝගයේ පැවසීය.

කිෂාන්දාස්, ඇගේ විශ්වාසය බිඳ දැමූ බවත්, ඇය පිළිස්සෙන අතරතුර ඉතිරි දියරය ඇය මතට විසි කිරීමෙන් අධික කෲරත්වයක් පෙන්නුම් කළ බවත් ඔහු පැවසීය.

“මෙය නිරෝගී සහ ශිෂ්ට සම්පන්න සමාජයක සිතාගත නොහැකි තරම් මනුෂ්‍යත්වයේ හෘද සාක්ෂිය කම්පනයට පත් කරන අපරාධයක්,” යනුවෙන් නියෝගයේ තවදුරටත් සඳහන් විය.

රජයේ නීතිඥ දිනේෂ් පලිවාල් මෙම නියෝගය ඓතිහාසික එකක් ලෙස විස්තර කළ අතර එය සමාජයේ අනෙක් අයට පාඩමක් ලෙස ක්‍රියා කරනු ඇතැයි තමන් බලාපොරොත්තු වන බව පැවසීය.

මරණ දඬුවම තහවුරු කිරීම සඳහා නියෝගය මහාධිකරණයට යොමු කළ බව පලිවාල් පැවසූ නමුත් වරදකරුට අභියාචනයක් ඉදිරිපත් කිරීමට දින 30ක් ඇති බව පැවසීය.

කිෂාන්දාස්ගේ නීතිඥ සුරේන්ද්‍ර කුමාර් මෙනාරියා පැවසුවේ ලක්ෂ්මිගේ මරණය අහම්බයක් බවත් බොරු චෝදනා එල්ල කර ඇති තම සේවාදායකයාට එරෙහිව කිසිදු සාක්ෂියක් නොමැති බවත්ය.

උදයිපූර් අධිකරණ දුන් නියෝගය නැවතත් අවධානය යොමු කර ඇත්තේ පැහැපත් සමක් සඳහා ඉන්දියාවේ ජනතාව අතර පවතින සෞඛ්‍ය සම්පන්න නොවන කැමැත්තයි.

අඳුරු සමක් ඇති ගැහැණු ළමුන් සහ කාන්තාවන්ට අපහාසාත්මක නම් පටබඳින අතර වෙනස්කම් කිරීම්වලට මුහුණ දෙයි.

මේ නිසා සම පැහැපත් කරන නිෂ්පාදන විශාල ව්‍යාපාර බවට පත්වෙමින් ඩොලර් බිලියන ගණනක ලාභ උපයයි.

මංගල දැන්වීම්වලදී , සමේ වර්ණය සෑම විටම පාහේ අවධාරණය කරනු ලබන අතර, පැහැපත් සමක් ඇති මනාලියන් සඳහා වැඩි ඉල්ලුමක් පවතී.