September 21, 2025

අන්තර්ජාතික ප්‍රජාව ප්‍රතිචාර දක්වන ආකාරය ගැන ශ්‍රී ලංකාවට සතුටු වීමට හේතුවක් තිබේ. අන්තර්ජාතික නිරීක්ෂණ කණ්ඩායම් තුනක් රජයට ධනාත්මක වාර්තා ලබා දී ඇත. පළමුවැන්න ස්වීඩනයේ පිහිටි අන්තර්ජාතික ප්‍රජාතන්ත්‍රවාදය සහ මැතිවරණ සහාය ආයතනය (IDEA) යි. එහි ‘ගෝලීය ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍ය දර්ශකය 2025’ පෙන්නුම් කරන්නේ, ශ්‍රී ලංකාව පසුගිය වසරේ රටවල් 173 න් 73 වැනි ස්ථානයේ සිට 58 වැනි ස්ථානය දක්වා ස්ථාන 15 කින් ඉදිරියට ගොස් ඇති බවය. මෙම දියුණුව, තේරී පත් වූ නව පාලනයේ ප්‍රගතිය, ප්‍රකාශනයේ නිදහස සහ ජනමාධ්‍ය නිදහස සමඟ සම්බන්ධ වේ. සිවිල් සහභාගීත්වය සහ ඡන්දදායක සහභාගීත්වය සම්බන්ධයෙන් ශ්‍රී ලංකාව දර්ශකයේ රටවල් අතුරින් ඉහළම සියයට 25 අතර සිටින බව ද වාර්තාවේ සඳහන් විය.

ලෝක බැංකුවද සිය 2025 වාර්තාවෙන් ශ්‍රී ලංකාව ද ප්‍රශංසා කළේය. ඉතිහාසයේ විශාලතම මූල්‍ය ගැලපීම්වලින් එකක් සිදුකිරීමෙන් ආර්ථිකය ස්ථාවර කිරීම සඳහා රට විශාල ප්‍රගතියක් ලබා ඇති බව එහි සඳහන් විය. 1980 සිට රටවල් 123ක සමාන අවස්ථා 330කට වඩා සංඛ්‍යාවක් සමග සසඳන විට, එම වාර්තාවට අනුව, ශ්‍රී ලංකාවේ ගැලපීම අනෙකුත් බොහෝ රටවලට වඩා තියුණු හා වේගවත් වේ. සියලු ජනතාවගේ ප්‍රයෝජනය සඳහා මහජන මුදල් භාවිත කරන ආකාරය වැඩිදියුණු කිරීමේදී ශ්‍රී ලංකාව දැන් හොඳ ස්ථානයක සිටින බව ලෝක බැංකුව තවදුරටත් පැවසීය. රජයේ වියදම් වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කර කටයුතු කරන්නේ නම්, වර්ධනයට හෝ සාධාරණත්වයට හානියක් නොවන පරිදි 2029 වනවිට රටට දළ දේශීය නිෂ්පාදිතයෙන් 2% කින් පමණ ආදායම වැඩි කරගත හැකි බව ද එහි සඳහන් වේ.

ජිනීවාහි පැවැති වත්මන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) සැසිවාරයේදී, රජය අපේක්ෂා කළ ප්‍රමාණයට වඩා හොඳින් කටයුතු කළේය. රටවල් 47 න් 43 ක් ශ්‍රී ලංකාවට සහාය දුන් බව දැකගත හැකිවිය. එහෙත් රටවල් හයක් ශ්‍රී ලංකාව පිළිබඳ යෝජනාවට සම අනුග්‍රහය දක්වන බැවින් මෙය අතිශයෝක්තියක් ලෙස පෙනේ. එසේවුවද, විවිධ කලාපවලින් බොහෝ රටවල් ශ්‍රී ලංකාවේ දේශීය උත්සාහයන්ට සහාය පළකළ අතර, ඕනෑවට වඩා අන්තර්ජාතික මැදිහත්වීමක අවශ්‍යතාව ප්‍රශ්න කෙරිණි. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය සමඟ ශ්‍රී ලංකාව අඛණ්ඩව සහයෝගයෙන් කටයුතු කිරීම ද ඔවුහු පිළිගත්හ. අතුරුදහන්වූවන්, ඉඩම් ආපසු ලබාදීම සහ ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අවලංගු කිරීම වැනි ගැටළු සම්බන්ධයෙන් රටේ ප්‍රතිසංස්කරණ සහ සැබෑ ප්‍රගතිය කථිකයන් කිහිපදෙනකු විසින් සිහිපත් කරන ලදී. කෙසේවෙතත්, විශාලතම අභියෝගය වනුයේ අන්තර්-වාර්ගික බලය බෙදාගැනීම සඳහා කල්පවතින විසඳුම් සොයාගැනීමයි.

බලය බෙදාගැනීම

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය (UNHRC) සහ ඉන්දීය රජය යන දෙකම ශ්‍රී ලංකාවෙන්, පළාත් සභා මැතිවරණ ඉක්මණින් පවත්වන ලෙස ඉල්ලා තිබේ. 2025 සඳහා වන UNHRC යෝජනා කෙටුම්පත මඟින් 13 වැනි සංශෝධනය සම්පූර්ණයෙන්ම ක්‍රියාත්මක කිරීම සහ සැබෑ බලය බෙදාගැනීම ද ඉල්ලා සිටී. UNHRC හි ඉන්දියාවේ නියෝජිතයා පැවසුවේ, ඉන්දියාව සැමවිටම ශ්‍රී ලංකාවෙන් ඉල්ලා සිටියේ, එහි ව්‍යවස්ථාව අනුගමනය කරන ලෙසත්, පළාත් සභා මැතිවරණ ඉක්මණින් පවත්වන ලෙසත්, පළාත්වලට වැඩි බලයක් ලබාදෙන ලෙසත්ය. ඊට ප්‍රතිචාර වශයෙන් විදේශ අමාත්‍ය විජිත හේරත් පැවසුවේ, මැතිවරණ සීමානිර්ණය කිරීමේ ක්‍රියාවලිය අවසන් වූ පසු ස්වාධීන මැතිවරණ කොමිසම විසින් මැතිවරණය පවත්වන බවයි. එහෙත් තවදුරටත් බලානොසිට මැතිවරණ පැවැත්වීමට රජය තීරණය කළ හැකි බවට වාර්තා තිබේ.

පළාත් සභා මැතිවරණ ඉක්මණින් පැවැත්වීමෙන් රජයට ප්‍රජාතන්ත්‍රවාදය කෙරෙහි විශ්වාසය නැවත ගොඩනැගිය යුතුය. අවසන් මැතිවරණය 2014 දී පැවැති අතර, එතැන් සිට පළාත් සභා මැතිවරණය පැවැත්වීම අත්හිටුවා ඇත. 2017 දී මැතිවරණ නීතිය වෙනස්කිරීමට ගත් උත්සාහයක් අසාර්ථක වූ අතර එතැන් සිට එම ක්‍රියාවලිය ඇණහිට තිබේ. ප්‍රධාන ගැටළුව වන්නේ, සමානුපාතික නියෝජනය සහ මිශ්‍ර ඡන්ද ක්‍රමයක් යටතේ ඡන්ද කොට්ඨාශ නැවත සකස්කිරීම පිළිබඳ දේශපාලන පක්ෂ එකඟ නොවීමයි. මෙම නව සීමානිර්ණය ක්‍රියාවලිය මන්දගාමී හා සංකීර්ණ බැවින්, ඊළඟ මැතිවරණය පැවැත්වීම සඳහා 1988 පැරණි පළාත් සභා මැතිවරණ පනත භාවිත කිරීම පිළිබඳව රජය දැන් සලකාබලමින් සිටී.

පළාත් සභා මැතිවරණ දැන් පැවැත්වීම හේතු දෙකක් නිසා වැදගත් වේ. පළමුව, ආණ්ඩුවේ විශාල බහුතරය නිසා පාර්ලිමේන්තුවේ දුර්වල වී සිටින විරුද්ධ පක්ෂවලට මෙම මැතිවරණවලදී හොඳින් කටයුතු කිරීමෙන් යම් බලපෑමක් නැවත ලබාගත හැකිය. දෙවනුව, පළාත් සභා යනු රජයේ දෙවැනි මට්ටම වේ. ඔවුන් ජනතාවට සමීප වන අතර, ඔවුහු බොහෝ මහජන සේවාවන් අධීක්ෂණය කරති. වාර්ගික හා ආගමික සුළුතරයන් සමඟ බලය බෙදාගැනීමේදී ද ඔවුහු ප්‍රධාන කාර්යභාරයක් ඉටුකරති. සුළුතරයන් බහුතරයක් හෝ ශක්තිමත් නියෝජනයක් ඇති පළාත්වල, පළාත් සභාවල ඔවුන්ගේ තේරී පත් වූ නියෝජිතයන්ට එම ප්‍රජාවන්ගේ ගැටළු සහ අවශ්‍යතා වඩා හොඳින් විසඳාගත හැකිය.

මලයහ දෙමළ

වතුකරයේ තැපැල් සේවා ගැටලුව හොඳ උදාහරණයකි. ජාතික සාම කවුන්සිලය රජයේ නිලධාරීන් සහ ප්‍රජා නියෝජිතයන් සමඟ මේ සම්බන්ධයෙන් සහ අනෙකුත් කරුණු සාකච්ඡා කිරීම සඳහා රැස්වීමක් පැවැත්වීය. බොහෝ වතුකම්කරුවෝ තවමත් වසර 150 කට පෙර බ්‍රිතාන්‍යයන් විසින් ඉදිකරන ලද පැරණි ‘ලයිම් කාමර’ වල ජීවත් වෙති. මෙම කුඩා, ටකරං වහල සහිත නිවාසවලට බොහෝවිට නිසි තැපැල් ලිපිනයන් නොමැති අතර, සමහර විට පවුල් කිහිපයක් තනි කාමරයක් බෙදාගනිති. මේ නිසා, මිනිසුන්ට වැදගත් ලිපි ලැබෙන්නේ ඉතා ප්‍රමාද වීය. සමහර විට ඒවා යවා සති කිහිපයකට පසුවය. එහි ප්‍රතිඵලයක් වශයෙන්, ඔවුන්ගේ වරදක් නොවුණත්, රැකියා අවස්ථා හෝ පාසල් සහ විශ්වවිද්‍යාල ප්‍රවේශය ඔවුන්ට අහිමි විය හැකිය.

UNHRC විසින් ඉස්මතු කරන පරිදි, අතීතය සමඟ කටයුතු කිරීම යනු යුද අපරාධ ගැන පමණක් නොව, නිදහසින් පසු මලයහ දෙමළ ජනතාව මුහුණදුන් දිගුකාලීන අසාධාරණකම් නිවැරදි කිරීම ගැන ද වේ. නිදහසින් පසු පළමු පාලනය අසාධාරණ ලෙස ඔවුන්ගේ පුරවැසිභාවය අහිමි කළ අතර, මෙම ප්‍රජාව තවමත් පූර්ණ පුරවැසියන් ලෙස සමාන පිළිගැනීමක් ලබාගැනීමට අරගල කරමින් සිටිති. ජනාධිපතිවරණයට පෙර, ජාතික ජන බලවේගය ‘හැටන් ප්‍රකාශනය’ නිකුත් කළ අතර, වතුකරයේ ප්‍රතිසංස්කරණ සිදුකිරීමට පොරොන්දු විය. ඔවුන් සමාන පුරවැසි අයිතිවාසිකම්, වඩා හොඳ ජීවන තත්වයන්, හිමිකාරිත්වය නොමැති අයට ඉඩම් හිමිකම් ඔප්පු සහ ජීවනෝපායන් වැඩිදියුණු කිරීම සඳහා භාවිතයට නොගත් වතු ඉඩම් ලබාදීම,විශේෂයෙන් රැකියා විරහිත තරුණයන් සඳහා රැකියා ලබාදීමට පොරොන්දු විය. මෙම පොරොන්දු සඳහා දැන් සැබෑ ක්‍රියාමාර්ග අවශ්‍ය වේ.

ලෝක බැංකුව පවසා ඇත්තේ, රජයට දැන් වඩාත් මූල්‍යමය නම්‍යශීලී බවක් ඇති බවයි. එයින් අදහස් කරන්නේ, වතුකරයේ ජීවත් වන මලයහ දෙමළ ජනතාවගේ ගැටළුවලට කඩිනමින් විසඳුම් ලබාදිය හැකි බවත් ඒවා විසඳා ගතයුතු බවත්ය. UNHRC හිදී, එක්සත් ජාතීන්ගේ මහකොමසාරිස්වරයා ද අවධාරණය කළේ මෙම ප්‍රජාවට සහාය වීම ප්‍රමුඛතාවක් වියයුතු බවයි. නුවරඑළියේදී, රජයේ නිලධාරීහු සහ සිවිල් සමාජ නියෝජිතයෝ මෙම ගැටළු සාකච්ඡා කිරීමේදී හොඳ හිතක් පෙන්නුම් කළහ. රජය ආයතන විවෘත කළහොත්, දුක්ගැනවිලි විසඳන්නේ නම් සහ නීතිය හා භාවිතය යන දෙකෙහිම අයිතිවාසිකම් යථාතත්ත්වයට පත්කරන්නේ නම්, එයට පාලනයේ හැරවුම් ලක්ෂ්‍යයක් සනිටුහන් කළ හැකිය. ප්‍රශ්නය වන්නේ ජාතික ජන බලවේග ආණ්ඩුව සාධාරණත්වය සහ බෙදාගත් බලය සමඟ ජනතාව එක්සත් කිරීමට නායකත්වය ලබාදෙයිද, නැතහොත් පැරණි බැහැරකිරීම් සහ ප්‍රමාදයන් මගින් සිය පොරොන්දුව දුර්වල කිරීමට ඉඩදෙයිද යන්නයි.

– ජෙහාන් පෙරේරා