June 4, 2025

අසත්‍ය තොරතුරු ප්‍රචාරය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර සහ හිටපු අමාත්‍ය උදය ගම්මන්පිල ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවන බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර අද පාර්ලිමේන්තුවට පැවැසීය.

උතුරු මැද පළාතේ වාහන අලෙවිය සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර වැරදි තොරතුරු ඉදිරිපත් කිරීමෙන් අනතුරුව උතුරු මැද පළාත් ආණ්ඩුකාරවරයා ඒ සම්බන්ධව නීතිමය ක්‍රියාමාර්ග ගන්නා බවට ඔහුට දැනුම්දුන් පසුව, ඔහුගෙන් සමාව ඉල්ලා සිටි බවත්, එය පිළිගත නොහැකි බවත්, අමාත්‍යවරයා එහිදී කියාසිටියේය.

මන්ත්‍රීවරයාගේ ක්‍රියාව කෙසෙල් ගෙඩියක් සොරකම් කර, එය ආපසු හිමිකරුට ලබාදී තමාට එරෙහිව පියවර නොගන්නා ලෙස ඉල්ලා සිටීමක් වන බවත්, අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර එම මන්ත්‍රීවරයාට එරෙහිව පියවර ගන්නා බවත් පැවැසීය.

බහාලුම් නිෂ්කාශනය සම්බන්ධයෙන් උදය ගම්මන්පිල ද, ළඟදීම අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් කැඳවන බව ඔහු තවදුරටත් සඳහන් කළේය.