October 21, 2025

ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ප්‍රතිසංස්කරණ ඇතුළත් කර තිබුණ ද LGBTQI ප්‍රජාව ඉලක්ක කරගත් නීති සංශෝධනය කිරීම සඳහා රජය කාලරාමුවක් ස්ථාපිත කර නොමැති බව අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර පවසයි.

“අස්වාභාවික වැරදි” සහ “පුද්ගලයන් අතර දැඩි අශෝභන ක්‍රියාවන්” යන මාතෘකාව යටතේ දණ්ඩ නීති සංග්‍රහයේ 365 සහ 365A වගන්ති LGBTQI ප්‍රජාව ඉලක්ක කර හිරිහැර කිරීම සඳහා දිගුකාලීනව භාවිතා කර ඇත.

සමලිංගික හැසිරීම් සඳහා දඬුවම් කරන 365A වගන්තිය අවලංගු කිරීම ජාතික ජන බලවේගයේ ප්‍රතිපත්ති ප්‍රකාශනයේ ඇතුළත් වේ.

කාන්තාවන්, ළමුන් සහ ආන්තික කණ්ඩායම් පීඩාවට පත්කරන බව ක්‍රියාකාරීන් පවසන 365 සහ 365A වගන්ති ඇතුළු අනෙකුත් වෙනස්කම් කිරීමේ නීති සංශෝධනය කිරීමට ද ජාතික ජන බලවේගය ප්‍රතිඥා ලබා දී තිබේ.

2023 වසරේදී නීතිඥ ප්‍රේම්නාත් සී. දොළවත්ත විසින් දණ්ඩ නීති සංග්‍රහයේ මෙම වගන්ති අපරාධයක් නොවන බවට පත්කිරීම සඳහා පෞද්ගලික මන්ත්‍රී පනත් කෙටුම්පතක් ඉදිරිපත් කර තිබිණි.

අධිකරණ අමාත්‍ය හර්ෂණ නානායක්කාර සහභාගී වූ, අද දෙරණ නාලිකාව ඔස්සේ විකාශය වූ වැඩසටහනකදී ඔහුගෙන් විමසා තිබුණේ, මෙම නීති සංශෝධනය කිරීම සඳහා රජය කිසියම් ස්ථිර පියවරක් ගෙන තිබේද යන්නයි.

ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා පවසා සිටියේ, මෙම නීති සංශෝධනය කිරීමට තවමත් පියවර ගෙන නොමැති බවයි.

ස්ත්‍රී පුරුෂභාවය හේතුවෙන් පුද්ගලයකු කොන්කළ යුතු යැයි විශ්වාස නොකරන බැවින් එය තම ප්‍රතිපත්ති ප්‍රකාශයේ ඇතුළත් බව තමන් පිළිගන්නා බව ද අමාත්‍යවරයා පැවසුවේය.

එවැවින් එම ප්‍රතිපත්තිය එලෙසම පවතින නමුත් ඒවා ක්‍රියාත්මක කෙරෙන්නේ කවදා ද යන්න පිළිබඳව කාලරාමුවක් නොමැති බව ද අමාත්‍යවරයා පැවසුවේය.

එමෙන්ම ඔහු පෙන්වාදුන්නේ ප්‍රතිපත්තිය පැහැදිලි වුවත්, ව්‍යවස්ථාදායක වෙනස්කම් ක්‍රියාත්මක කිරීමට පෙර රජය මහජන ප්‍රතිචාර සලකාබැලිය යුතු බවයි.

දේශපාලනය තුළ කාලය ඉතා වැදගත් බවත්, මේ සම්බන්ධයෙන් ඕනෑම තීරණයක් අවසානයේ කැබිනට් මණ්ඩලයෙන් ලැබෙන බවත් ඔහු පැවසීය.

කාලය තීරණය කරනු ලබන්නේ කැබිනට් මණ්ඩලය විසින් බැවින් ඉදිරි මාස 6 තුළ එය ගෙනඑන බවට තමාට තනිවම ප්‍රකාශයක් කළ නොහැකි බව ද අමාත්‍ය හර්ෂණ නානායක්කාර පැවසීය.