January 5, 2026

රෝහල්ගතව සිටියදී කෝමා තත්ත්වයකට පත් වූ ඕස්ට්‍රේලියානු හිටපු ක්‍රිකට් ක්‍රීඩක ඩේමියන් මාර්ටින් එම තත්ත්වයෙන් මිදී මේ වනවිට සිහිය ලබා ඇති බව
ඕස්ට්‍රේලියානු කණ්ඩායමේ සගයකු වන ඇඩම් ගිල්ක්‍රිස්ට් නිවේදනය කර තිබේ.

මාර්ටින්ගේ පවුලේ අය වෙනුවෙන් මෙම නිවේදනයක් නිකුත් කරමින් ගිල්ක්‍රිස්ට් පැවසුවේ “පසුගිය පැය 48 තුළ ඇදහිය නොහැකි සිදුවීම් ගණනාවක් වුණා.” යනුවෙනි.

1992 සිට 2006 දක්වා ටෙස්ට් තරග 67කට ක්‍රීඩා කළ 54 හැවිරිදි මාර්ටින් පසුගිය මාසයේ අගභාගයේදී අසනීප වී දෙසැම්බර් 27 වැනිදා ක්වීන්ස්ලන්ත රෝහලකට ඇතුළත් කරන ලදී.

“[මාටින්] කෝමා තත්වයෙන් මිදුණු දා ඉඳන් ඔහුගේ පවුලේ අයට එය යම් ආකාරයක ආශ්චර්යයක් ලෙස හැඟෙන මට්ටමට අසාමාන්‍ය ලෙස හොඳින් ප්‍රතිචාර දක්වා තිබෙනවා. ඔහුට දැන් කතා කිරීමටත් හැකියි,” යනුවෙන් ප්‍රකාශයේ සඳහන් විය.

ගිල්ක්‍රිස්ට් පැවසුවේ මාර්ටින්ගේ තත්ත්වය ඉතා ධනාත්මක බවත්, ඔහුට දැඩි සත්කාර ඒකකයෙන් පිටතට යා හැකි යැයි වෛද්‍ය කාර්ය මණ්ඩලය බලාපොරොත්තු වන බවයි.

මෙනින්ජයිටිස් යනු මොළය සහ සුෂුම්නාව වටා ඇති ආරක්ෂිත පටලවල ආසාදනයකි.

එය හදිසියේම පැමිණ ඉක්මනින් ප්‍රතිකාර නොකළහොත් පැය කිහිපයක් ඇතුළත මරණයට පත් විය හැකිය.

ගිල්ක්‍රිස්ට් සහ මාර්ටින්ගේ පවුලේ අය ගෝල්ඩ් කෝස්ට් විශ්වවිද්‍යාල රෝහලේ කාර්ය මණ්ඩලයට ද ස්තූති කළහ.

“මෙම අභියෝගාත්මක කාලය පුරාම ඔවුන් පුදුම සහගත ලෙස කටයුතු කළා”.යනුවෙන් ඔවුන් පවසා තිබේ.

වයස අවුරුදු 21 දී ටෙස්ට් වරම් ලැබූ මාර්ටින්, අළු බඳුන තරගාවලි හතරකට ක්‍රීඩා කළ අතර ඔහුගේ වෘත්තීය ජීවිතය තුළ 46.37ක සාමාන්‍යයකින් ටෙස්ට් ලකුණු 4,406ක් ලබා ගත්තේය.

ඔහු ඕස්ට්‍රේලියාව සමඟ ලෝක කුසලාන දෙකක් දිනාගත් අතර 2006-07 තරගාවලියේ තුන්වැනි ටෙස්ට් තරගයට පෙර විශ්‍රාම ගියේය.

2003 ලෝක කුසලාන අවසන් මහා තරගයේදී, මාර්ටින් කැඩුණු ඇඟිල්ලක් සහිතව පිතිකරණයේ යෙදෙමින් නොදැවී ලකුණු 88 ක් ලබා ගත්තේය.

මාටින් දක්ෂ එක්දින අන්තර්ජාතික පිතිකරුවකු ද වූ අතර, තරග 208කදී ලකුණු 5,346ක් රැස් කළ අතර, ශතක පහක් සහ අර්ධ ශතක 37ක් ද ඔහු සතු විය.

ඔහු 2003 දී විදේශීය ක්‍රීඩකයකු ලෙස යෝක්ෂයර් නියෝජනය කළේය.