September 3, 2025

ශ්‍රී ලංකා රේගුව මඟින් රඳවා ගෙන සිටින BYD විද්‍යුත් වාහන 506 ක් අමතර බැංකු ඇපකරයක් ඉදිරිපත් කිරීමෙන් අනතුරුව මුදාහැරීමට ශ්‍රී ලංකා රේගුව අද අභියාචනාධිකරණය හමුවේ එකගවිය.

තමන් විසින් ආනයනය කළ විද්‍යුත් වාහන මුදාහැරීමකින් තොරව රඳවාගැනීමට එරෙහිව ජොන් කිල්ස් ඔටෝ ප්‍රයිවට් ලිමිටඩ් සමාගම විසින් ගොනුකර තිබූ පෙත්සමක් අද අභියාචනාධිකරණය හමුවේ කැඳවූ අවස්ථාවේදී මෙම එකඟතාවය පළකෙරිණි.

අභියාචරාධිකරණයේ සභාපති විනිසුරු රෝහාන්ත අබේසූරිය සහ ප්‍රියන්ත ප්‍රනාන්දු යන අයගෙන් සමන්විත අභියාචනාධිකරන විනිසුරු මඩුල්ල ඉදිරියේ මෙම පෙත්සම කැඳවනු ලැබීය.

එහිදී පෙත්සම්කාර සමාගම වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥ ෆර්සානා ජමිල් අධිකරණය මේ කරුණු දක්වමින් මීට පෙර අධිකරණය හමුවේ ඇතිකරගත් එකඟතාවය මත බැංකු ඇපකරයක් මත රේගුව විසින් රඳවාගෙන සිටි විද්‍යුත් වාහන 991 ක් මුදාහැර තිබූ බව සඳහන් කළාය.

ඉන් පසුව එම කාණ්ඩයටම අයත් වාහන 506ක් සිය සේවාදායකයා විසින් ආනයනය කර තිබෙන අතර එම වාහන මුදාහැරීම රේගුව විසින් ප්‍රතික්ෂේප කර තිබෙන බවටත් ජනාධිපති නීතිඥවරිය චෝදනා කළාය.

රේගුව මෙම ක්‍රියාකලාපය නිසා තම සේවාදායකයාට ව්‍යපාරික කටයුතු කරගෙන යෑමට නොහැකි තත්ත්වයක් උද්ගතව ඇති බවත් ඇය සඳහන් කළාය.

ශ්‍රී ලංකා රේගුව වෙනුවෙන් පෙනීසිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් සුමති ධර්මවර්ධන අධිකරණය හමුවේ කරුණු දක්වමින්, පසුගිය නඩු දිනයේ වාහන 901 ක් බැංකු ඇපකරයක් මත නිදහස් කිරීමේ එකඟතාවය ඇතිවූ අවස්ථාවේදී පෙත්සම්කාර සමාගම අදාළ වාහන පිළිබඳ විමර්ශන කටයුතුවලට සහාය දක්වන බවට අධිකරණය හමුවේ එකඟ වූ බව කියාසිටියේය.

එහෙත් මෙම වාහනවලට අදාළ තාක්ෂණික තොරතුරු ලබාදෙන ලෙස රේගුව විසින් පෙත්සම්කාර සමාගම වෙතින් ඉල්ලීම් කළත් ඒවා ලබාදීම ප්‍රතික්ෂේප කර තිබෙන බවත් අතිරේක සොලිසිටර් ජනරාල්වරයා චෝදනා කළේය.

මෙහිදී අභියාචනාධිකරණයේ සභාපති විනිසුරුවරයා විමසා සිටියේ, අතිරේක බැංකු ඇපකරයක් මත දැනට ආනයනය කර තිබෙන වාහන මුදාහැරීම හැකියාවක් තිබේදැයි යනුවෙනි.

ඒ අවස්ථාවේදී ශ්‍රී ලංකාව රේගුව වෙනුවෙන් පෙනීසිටි නිලධාරීන්ගෙන් උපදෙස් ලබාගෙන අධිකරණය හමුවේ කරුණු දැක්වූ අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා, පෙත්සම්කාර පාර්ශ්වය විසින් අතිරේක බැඳුම්කරයක් ඉදිරිපත් කරන්නේ නම් පෙර ඇති කරගත් එකඟතාවයේ කොන්දේසි මත අදාළ වාහන මුදාහැරීමට හැකියාවක් තිබෙන බව පැවසුවේය.

බැංකු ඇපකරය වශයෙන් ගෙවිය යුතු මුදල් වටිනාකම ගණනය කර රේගුව විසින් පෙත්සම්කාර පාර්ශවයට දැනුම්දෙන බවත් ඔහු සඳහන් කර සිටියේය.

එම වටිනාකම දැනුම්දුන් පසුව බැංකු ඇපකරය ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් පෙත්සම්කාර පාර්ශවය වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරිය සඳහන් කර සිටියාය.

ඒ අනුව අදාළ ඇපකරය මත වාහන මුදාහැරීමට කටයුතු කරන ලෙස අභියාචනාධිකරණය විසින් ශ්‍රී ලංකාවේ රේගුවට දැනුම්දුන්නේය.

මේ අතර අතිරේක සොලිසිටර් ජෙනරාල්වරයා වැඩිදුරටත් අධිකරණය හමුවේ කරුණු දක්වමින්, මෙම වාහන සම්බන්ධයෙන් සිදුකරන විමර්ශනයටවලට අදාළව තාක්ෂණික කාරණා කීපයක් පෙත්සම්කාර පාර්ශවය වෙතින් ලබා ගැනීමට අවශ්‍යව තිබෙන බවත් ඒවා මොනවාද? යන්න දැක්වෙන මෝසමක් ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් සඳහන් කළේය.

ඒ අනුව අදාළ මෝසම ඉදිරිපත් කරන ලෙස සොලිසිටර් ජෙනරාල්වරයාට දැනුම්දුන් අධිකරණය පෙත්සම යළි සැප්තැම්බර් මස 15 වැනිදා කැඳවන ලෙස නියම කෙරිණි.