January 14, 2026

කොළඹ නාගරික මන්ත්‍රීනී සොහාරා බුහාරිගේ පක්ෂ සාමාජිකත්වය අවසන් කරමින් ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය (SLMC) නිකුත් කළ ලිපියක් ක්‍රියාත්මක කිරීම වළක්වාලමින් කොළඹ දිස්ත්‍රික් අධිකරණය වාරණ නියෝගයක් නිකුත්කර තිබේ.

කොළඹ මහ නගර සභාවේ ජාතික ජන බලවේගයේ අයවැය යෝජනාවට පක්ෂව ඡන්දය දුන් බවට ඇයට චෝදනා එල්ල වී ඇති අතර, අයවැයට විරුද්ධ වන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රස් නායකත්වයේ නියෝගය නොතකා කටයුතු කිරීම හේතුවෙන් ඇයගේ සාමාජිකත්වය අවලංගු කිරීමට පක්ෂය පියවර ගෙන තිබිණි.

මන්ත්‍රීවරිය ගොනු කළ පැමිණිල්ලක් සළකා බැලීමෙන් පසු අධිකරණය මෙම නියෝගය නිකුත් කර තිබේ.

වාරණ නියෝගය දින 14ක කාලයක් සඳහා ක්‍රියාත්මක වේ.

ඊට අමතරව, පැමිණිල්ලට අදාළව කරුණු ඉදිරිපත් කරන ලෙස ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ නායක රවුෆ් හකීම් සහ මහලේකම් නිසාම් කාරියප්පර් ඇතුළු මෙම නඩුවේ නම් කර ඇති වගඋත්තරකරුවන්ට නොතීසි නිකුත් කරන ලෙස අධිකරණය නියෝග කළේය.

දෙසැම්බර් 31 වැනිදා පැවති කොළඹ නගර සභා අයවැය ඡන්ද විමසීමේදී තමන් පක්ෂව ඡන්දය දුන් බව මන්ත්‍රීවරිය සිය පැමිණිල්ලේ සඳහන් කර තිබේ.

එදිනම පක්ෂය ඇගේ සාමාජිකත්වය අත්හිටුවීමට පියවර ගත් බවත්, දින හතක් ඇතුළත දිවුරුම් ප්‍රකාශයක් මගින් ඇගේ පැහැදිලි කිරීම ඉදිරිපත් කරන ලෙසත් දන්වා තිබූ බව ඇය තවදුරටත් සඳහන් කර ඇත.

ජනවාරි 2 වැනිදා අදාළ ලිපිය ලැබුණු බව පැමිණිලිකාරිය අධිකරණයට දැනුම් දුන්නාය.

ජනවාරි 9 වැනිදා තම විරෝධතා ඉදිරිපත් කිරීම සඳහා පක්ෂ මූලස්ථානයට ගිය විට, පක්ෂය ද්වේශ සහගත ලෙස ඒවා පිළිගැනීම ප්‍රතික්ෂේප කළ බවත්, පසුව ඇගේ සාමාජිකත්වය අවසන් කරමින් ලිපියක් නිකුත් කළ බවටත් ඇය චෝදනා කළාය.

සාධාරණ පරීක්ෂණයක් නොපවත්වා ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසය විසින් ඇගේ සාමාජිකත්වය අහිමි කිරීමට ගත් තීරණය නීතියට පටහැනි බව මන්ත්‍රීවරිය සිය පැමිණිල්ලේ තර්ක කර තිබේ.

එම තීරණය අවලංගු සහ බලරහිත බව ප්‍රකාශ කරමින් නියෝගයක් නිකුත් කරන ලෙස ඇය කොළඹ දිස්ත්‍රික් අධිකරණයෙන් ඉල්ලා ඇත.