May 1, 2025

පාසුගිය ආණ්ඩුව සමයේ රජයට රුපියල් මිලියන 2,700ක පාඩුවක් කළ බව කියන පොස්පේට් ගනුදෙනුව සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චාමර සම්පත් දසනායකගෙන් ප්‍රකාශයක් ගැනීමට අධිකරණය අවසර දී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් බී වාර්තාවක් මගින් අධිකරණය හමුවේ ගොනුකළ කරුණු සැලකිල්ලට ගනිමින් මෙම අවසරය ලබාදී ඇත.

පොලීසිය පැවසුවේ, අධිකරණ නියෝග මත දැනට බන්ධනාගාර ගතකර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රීවරයාගෙන් බන්ධනාගාරයේදී ප්‍රකාශ ලබාගැනීමට පියවර ගන්නා බවයි.

මේ අතර, අදාළ ගනුදෙනුවට අදාළව එහි උපදේශකවරයකු ලෙස කටයුතු කළ පුද්ගලයකු නාවල ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ , අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නීතිවිරෝධි වත්කම් කොට්ඨාශය විසිනි.

එලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ, නවීන් ධනේෂ් නැමැති අයෙකි.

අධිකරණ නියෝග අනුව, ඔහුගේ නිවසේ කළ පරීක්ෂාවකදී එහි තිබි ‘වෙස්ලි ලන්ඩන් සෙවන්ටි සික්ස් ඒ, ඕ හන්ඩ්‍රන්ඩ් ඇන්ඩ් ටු’ වර්ගයේ බලපත්‍ර නොමැති කුඩා පිස්තෝලයක්, 9mm වර්ගයේ බලපත්‍ර සහිත පිස්තෝලයක්, එම උණ්ඩ 20 ක් සහ ‘එස්.එල්.ජි සිරෝ වන් ටු ත්‍රි’ රිපිටර් වර්ගයේ ගිනි අවියක් පොලිසිය භාරයට ගෙන ඇත.

ඉකුත් ආණ්ඩුව සමයේ ලංකා පොස්පේට් සමාගම විසින් නීතිවිරෝධි ලෙස රොක් පොස්පේට් මෙට්‍රික් ටොන් 30,000ක් අපනයනය සඳහා සමාගම් 03ක් වෙත අලෙවි කිරීමෙන් රජයට රුපියල් මිලියන 2,700කට ආසන්න මුදලක් අහිමි කර ඇති බව කියන සිද්ධිය සම්බන්ධයෙන් මේ වන විට විමර්ශන ක්‍රියාත්මක වේ.