
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
අල්ලස් කොමිසමේ අත්අංගුවට පත්වූ හිටපු ලේකම් හා උපදේශක චරිත රත්වත්තේ ට ජේ.ආර්. – ප්‍රේමදාස යුගවල තිබූ කාඩ් එක – අන්වර්ථ නාමය ‘වැඩ කරන්නා’ ය. ඒ රාජ්‍යය විසින් යම් තීන්දුව ක් ගත් විට එය කොක්කෙන් හෝ කෙක්කෙන් හෝ ඉටු කිරීමේ ඔවුටම ආවේනික ජවය වගවීම නිසාය.
1977 එජාප මැතිවරණ ව්‍යාපාරයේ වැඩකාරයෙකු වූ චරිත, තරුණ සේවා සභාවේ සභාපති ධූරයට පත් වී, එජාප පාක්ෂිකයින්ට ලොකු හැන්දෙන් බෙදුවේ නැත. නමුත්, ඔහු එය එදා විශිෂ්ඨතම ආයතනයක් බවට පත් කළේය. පාක්ෂිකත්වය පැත්තක තබා දක්ෂතාවය ඉඩ දනුනේය. ඡන්දයකින් පසුව රැකියා දීම එම යුගයේ සුලබ සිදුවීමක් වූ යුගයක පත්වීමක් ඉල්ලා ඇමති ලිපියක් රැගෙන ආ බියගම හාදයෙකුට ‘බැහැපං බල්ලා එළියට යැයි’ කියා එලවා ගත්තේ ද ඒ නිසාමය.
චරිත රත්වත්තේ පක්ෂයේ සභාපති ධූරය ද දැරූ නමුත්, එජාප පාක්ෂිකයින් සංවිධායකවරු, ඇමතිවරු ඔහුගේ සෘජු වැඩ කිරීමේ ක්‍රමයට කැමති වූයේ නැත! ඒ පක්ෂයට පෙර රට පෙරට තැබූ නිසාය.
උදේ 8 ට කාර්යාලයට එන පුරුද්ද තිබූ යෞවන කටයුතු අමාත්‍යාංශයේ ලේකම්වරයා කෙලින්ම කැන්ටිමට ගොස් සුළු සේවකයෙකු සමඟ තේ බොන්නේය. 8.30 සිට පුටුවට එන ඔහු දිනකට පැය 14 ක් 16 ක් වැඩ කරන්නෙකි. උදේ 9 යේ රැස්වීමේ දී ගන්නා තීරණය දවල් 12 වන විට නැවත මතක් කරන, සවස තේ වේළාවේ දී ත් වැඩේ කෙරුණා දැයි අහන, පහුවදා උදේ වැඩේ වැඩේ ඉවර ද අහන ලේකම්වරයෙකු වූයේ නම් ඒ චරිත රත්වත්තේම ය. චරිතගේ ඒ ආත්මීය පුරුද්ද ඔහුට දැන් හෙණයක් වි ඇත.
ආණ්ඩුකරණයේ ලේකම්, සභාපති, උපදේශක වැනි ඉහළම තනතුරු දරා ඇති චරිත, තමන්ට පැවරෙන වැඩය කරන්නට බැරි රාජ්‍ය සේවයේ බොරුකාරියන් බහුතරයකට ද්‍රෝහියෙකි! වැඩි නොකරන එකාට ඔහු කවදාවත් ප්‍රිය වූයේ නැත!
ජංගම දුරකතන නැති කාලයේ, මෙට්‍රපොලිටන් ඒජන්සියෙන් ඔහු වෝකි ටෝකි එකක් යැයි කිව හැකි ගැජට් එකක් මිලදී ගත්තේ කොටුවේ කාර්යාලයේ සිට මහරගම තරුණ සේවා සභාව දක්වා යන ගමන අතර තුරු වැඩ සම්බන්ධීකරණය කරන්නටය. වැඩේ අවසන් වන තෙක් පසු විපරම් කිරීම ‘වයර් නැති තාලයට’ (Wireless) කිරීම පටන් ගත්තේ ඒ විදිහටය. අලුත් දේ අලුත් විදිහට කරන්නට චරිත ට උපන් හපන්කමක් තිබුණි. මේ ශුරතාව ඔහු රාජ්‍ය පාලකයින්ට වඩ වඩාත් සමීප කළේය.
චරිත රත්වත්තේ බොහෝ විට ජීවත් වූයේ අනාගතය දකිමිනි. ලෝකයේ අලුත්ම ප්රවනතාවයන් සමඟය. හණමිටිකාරයින්ට ඔහු සදාකාලික ද්‍රෝහියෙකි! වැඩිම කාලයක් ඉර හඳ තරු දැකීම සුදුසුකමක් ලෙස සලකා කටයුතු කළ අයට ඔහුගේ යාවත්කාලීනවීම දැනුනේම නැත!
89 තරුණ අසහනයට සම්බන්ධ වූ අවුරුදු 15 ට අඩු දරුවන් 171 ක් ද, ඇතුලු තරුණ තරුණියන් 11,658 ක් පුනරුත්ථාපනයට නායකත්වය දුන් මිනිසා ඔහුය. ප්‍රේමදාස ගේ නිවාස වැඩපිළිවෙලට වැඩි ප්රමුඛත්වයක් තරුණ අසහන කමිටු නිර්දේශයන්ට ලබාදී, ඒවා ක්‍රියාවෙහි යෙදවූ අසහාය ලේකම්වරයෙකු ලෙස චරිතගේ නම ඉතිහාසගත වන්නේය. රැකියා ලබාදීමේ දී උපාධිධාරීන් ස්ථානගත කිරීමේ (Graduate Placement) වැඩසටහන ආචාර්ය කරුණාසේන කොඩිතුවක්කු සමඟ සැකසූවේ ද චරිතමය. රනිල් වික්‍රමසිංහයන්ගේ සමීපතමයෙකු ද, ඔහුගේ අමාත්‍යාංශ ලේකම්වරයා ද වූ බැවින් 87 – 89 කැරැලිකරුවන්ට චරිත, ද්රෝහියෙකුමය.
චරිතගේ අත්අඩංගුවට ගැනීම ගැන කෙටි පණිවුඩය දකින ලාල් කාන්ත අමාත්‍යවරයා එයට දක්වන ප්‍රතිචාරය, රාජ්‍ය සේවයේ සියළුම නිලධාරීන් මේස විදුරුව යට තබාගත යුතුය!
‘දිළිදුකම තුරන් කිරීම සඳහා වූ ජනසවිය’ වැඩසටහනේ ‘වැඩකරන්නා’ වූයේ ද ඔහුම ය. නමුත්, අන්ත දිළින්දන්ට ආමන්ත්‍රණය කළ සමෘද්ධි ව්‍යාපාරය බිහි වූ විට, හාස්‍යජනක ලෙස ඔහු ලේබල්වන්නේ ජනසවිය කපපු ද්‍රෝහියෙකු ලෙස ය.
ශ්‍රී ලංකා රාජ්‍ය (පරිපාලන!) සේවයට ‘අතිරේක ලේකම්’ තනතුර ඇති කළේ ද, ඔහු ය. රාජ්‍ය සේවයට ඔහු ඇති කළ බලපෑම අසමසම ය. ඉතිහාසගතය. එය කිසිදා ඇඟයීමකට නම් ලක් වී නැතුවා පමණක් නොව විවේචන – විචාරයට ලක්වී ද නැත. රාජ්‍ය සේවයේ ගැන උගන්වන කිසිම කටකින් චරිත ගේ භුමිකාව ගැන හොඳ නරකක් ඇසෙන්නේම නැත්තේ වෘත්තීය ඉරිසියාව (Professional jealousy) නිසා යැයි මට සිතේ.
අමාත්‍යාංශයේ ප්‍රගති සමාලෝචනයට වැඩේ, කවදා?, කොහොම? කරනවාද කියනු වෙනුවට ‘කරන්නේ කවුද?’ කියා විමසන සංස්කෘතිය ව්‍යවහාරයක් බවට පත් කළේ ද, දැන් ඇප පිට සිටින චරිතම ය.
මට චරිත රත්වත්තේ මුල්වරට හමුවන්නේ 2001 සෘණ ආර්ථිකයක් ඇති රටක එජාපය බලයට පත් වූ යුගයේ මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා ලෙසය. එදා – අද දක්වා ඔහු ගැන මට නම් මිහිරි මතකයක් නැත! අපේ යෝජනා, ඉල්ලීම්, ව්‍යාපෘති එක රතු පෑන් පාරෙන් අවසන් වූයේ ඔහු අතය.
2001 – 2004 ආර්ථිකය නැවත ගොඩනගන තෙක් රජයේ රැකියා ලබාදීම නැවැත්වීමේ හිත් පිත් නැති තීරණය ක්‍රියාත්මක කිරීමේ ගහලයා ගේ භුමිකාවට ඉටු කළ චරිත එදා, සමස්ත කැබිනට් මණ්ඩලයේ ද, මන්ත්‍රීවරුන් ගේ ද, පාක්ෂිකයන්ගේ ද වෛරක්කරුවා විය. නමුත්, සෘණ ආර්ථිකයක් වසර දෙකක් තුල — 2004 වන විට ගොඩ දැම්මේ රාජ්‍ය මුල්‍ය විනය නිසාය. 2003 සෑම පාර්ලිමේන්තු දිනයකම එහි රැදුණු මට ඇමතිවරු, ලේකම්වරු ඔහුට නැති තැන කුණුහරුපයෙන් බනිනු ඇසී ඇත. බංකොලොත් රාජ්‍ය මුල්‍ය ගොඩ දැමූ මිනිසා අදටත් ඔවුන්ට ද්‍රෝහියෙකි.
පසුව එජාප සභාපති ධූරයට ද පත් වූ ඔහුගේ අනුග්රහශීලි නොවන පාලනය, සංවිධායකයින්ට – මන්ත්‍රීවරුන්ට ද ඔහු ද්‍රෝහියෙකු විය. බොහෝ දුෂ්කර අවස්ථාවල පක්ෂය පෙර රට ගැන සිතා කටයුතු කළ විරල මිනිසෙකුට ජනප්‍රිය දේශපාලනයේ දී ‘වීරයෙකු’ විය නොහැකිය.
2015 යහපාලන ආණ්ඩුව බලයට පත් වූ විට අග්‍රාමාත්‍ය කාර්යාලයේ උපදේශකවරයා වූයේ චරිත ම ය. ඉටු කර ගත යුතු දෛනික ප්‍රශ්න නැවතුණේ ‘වැඩ කරන්නා’ වූ චරිතගේ මේසයේ ය.
පොහොර සහනාධාරය ඇතුළු හේතු නිසා ඉහළ වී අස්වැන්නක් ලැබූ ද, රජය ඒවා මිලදී ගත් බැවින් ද, මත්තල ගුවන්තොටුපලේ පවා වී ගොඩ ගසන්නට දිසාපති/වී අලෙවි මණ්ඩලයට සිදු විය. චරිත කළේ නැගෙනහිර ආසියාවේ ජනප්‍රිය වී ගබඩා කරන ‘කොකුන්’ තාක්ෂණය (ගබඩා) මෙරටට ගෙන්වීමට පියවර ගැනීමය. එම තීරණය අග්‍රාමාත්‍ය කාර්යාලයේ දී ගෙන ඇත්තේ චරිත, සභාපති භයිලා, සංස්ථා සමාන්‍යාධිකාරි, මහ බැංකු අධිපති, රාජ්‍ය බැංකු නිලධාරීන් ගේ රැස්වීමක දී ය. වානිජ්‍ය විවිධ නීතිගත සංස්ථාව මගින් ගෙන්වූ ගබඩාවලින් කොටසක් වී අලෙවි මණ්ඩලය මුදල් ගෙවා මිලදී ගෙන ඇත. එයින් කොටසක් වී ගබඩා කර ද ඇත. ගෝඨාභය පාලනයේ දී කොළඹ හා තදාසන්නයේ එළවළු අඩු මිලට අලෙවි කරනු ලැබුවේ ද මේ ගබඩා භාවිතයෙනි. (එළවළු මිල පහත වැටුණු විට එ්වා නාගරික ප්‍රදේශවල අඩු මිලට අලෙවි කිරීම)
මාගේ අනුමානය නම්, චරිත රත්වත්තේ පරණ පුරුදු විදිහට, වී ගබඩා ප්රශ්නය අවසන් වන තුරු පසු විපරම් කරන්නට ද ඇත. සමහර විට පුරුදු විදිහට ‘කවුද කරන්නේ? කවුද කරන්නේ? කෑ ගසන්නට ද ඇත. ඉන් වසර 10 කට පසුව, 79 වන වියේ පසුවන ඔහු අත්අඩංගුවට පත්වන්නේ ‘මේ වැඩ ක්‍රමය’ නිසාය. සිය ධූර කාල තුල දස දහස් නියෝග අතර රජයට පාඩුවක් වූ එක් ගණුදෙනුවක නියෝගය නිසා ඔහු අද දුෂිතයෙකු, අපරාධකාරයෙකු ලෙස අධිකරණ බංකුවේ ය.
රාජ්‍යය විසින්, රාජ්‍ය සේවකයින්ට ලබාදෙන පණිවුඩය නිවැරදිව කියවා ගැනීම වැදගත්ය! ඔබ විශිෂ්ඨයින් අතර විශිෂ්ඨතමයා වූවාට වැඩක් නැත. මුදල් ලේකම් ලෙස අන්තිම සතයට ගණන් බැලූ චරිත, රට 2002 ආර්ථික අර්බුදයෙන් ගලවාගත් චරිත අද සැකකරුවෙකු ලෙස පොලිස් නිලධාරීන් වටකර උසාවි කුඩුවට නගින්නට සිදු වන්නේ එදා රටේ තිබූ ලොකුම ප්‍රශ්නයට උත්තර සෙවූ නිසාය!
අද දඹුල්ලේ බීළුණු කුණු වෙමින් යයි. ඉන්දියාවෙන් ලැබුණු ශීතාගාරයට බී ළුණු ටික දමා එය රැකගන්නට නිලධාරීයෙකු නැත. වැලිමඩ අල ගොවියෝ අමු තිත්ත කුණු හරුපයෙන් ශාප කරමින් අර්තාපල් අලෙවි කර ගත නොහැකිව ලතැවෙති. එළවළු විකුණාගත නොහැකි තැනට වැඩී ඇතත් රාජ්‍යය — පාලකයින් – ලේකම්වරු මර නින්දේය. ඔවුන් කිසිවක් මිලදී නොගන්නා නිසා ගබඩා දොර අගුළු දමා වසා ඇති නිසා ‘නිසි ක්‍රියා පටිපාටිය අනුගමනය නොකිරීම ගැන ප්‍රශ්නයක් ද නැත’. එදා වී මිලදී නොගත්තා නම්, ගබඩා සොයා නොදුන්නා නම්, අදත් ඔහු ‘සුපිළිපන් නිලධාරියෙකි’. චරිත රත්වත්තේ වැනි රට ගැන සිතන මිනිසුන් දීප්තියෙන් බැබලුනේ, ප්‍රශ්න විසඳන යුගයක ය. දැන් ප්‍රශ්න මඟ හැර, ප්‍රසම්පාදන නවතා, අය වැයෙන් වෙන් කළ ප්‍රාග්ධන අරමුදලින් 75% කට වඩා භාණ්ඩාගාරයට හරවා යවා එය වීරකමක් ලෙස දකින යුගයයි.
ආණ්ඩුකරණයේ දී බොහෝ දෙනෙකුට ද්‍රෝහියා වූ මේ මිනිසාට, සිය රාජ්‍ය සේවය වෙනුවෙන් ලැබුණු ඉහළම ඇඟයීම ‘නිසි ක්‍රමවේදය අනුගමනය නොකිරීම’ නිසා අත්අඩංගුවට පත්වීමයි. දැන් ඔහු පරිපූර්ණ රාජ්‍ය නිලධාරියෙකි!
රාජ්‍ය නිලධාරිවරුනි, අද ඔබ ගන්නා තීරණය, අත්සන් කරන නියෝගය/උපදේශය වසර 10 කින් පමණ අනාගතයේ දිනෙක, අද පවතින තත්වය ගැන කිසිදු අදහසක් නැති විමර්ශකයින් අතින් ‘විමසුමට’ ලක්වන්නේය. විශ්‍රාම යාමෙන් පසුව, අවුරුදු 79 ක — හැරමිටියෙන් යන වයසක වූව ද ඔබ එම තීරණයට වැරදිකරුවෙකු විය හැකිය. මේ රාජ්‍ය සේවයේ නව මාවතයි. ප්‍රවේශමෙන් ගමන් කරන්න!
– රජිත් කීර්ති තෙන්නකෝන්
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart