May 18, 2025

භෝග වලට හානි කරන සතුන් කිහිප දෙනෙකු පිළිබඳ රට පුරා සිදුකෙරුණු සත්ව සංගණනයේ ප්‍රතිඵල මෙම සතියේ නිකුත් කිරීමට අපේක්ෂා කරන බව කෘෂිකර්ම, පශු සම්පත්, ඉඩම් සහ වාරිමාර්ග මාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම් ආසිරි ලක්මාල් තෙන්නකෝන් පවසයි.

වාර්තාව නිකුත් කිරීම ප්‍රමාද වීමට හේතුව මහජනතාව විසින් ඉදිරිපත් කරන ලද තොරතුරු සත්‍යාපනය කිරීම සහ හරස් පරීක්ෂා කිරීම වෙනුවෙන් අතිරේක දත්ත රැස් කිරීමේ වටයක් සඳහා නිලධාරීන් යැවීමට ගත් තීරණය බව ඔහු සඳහන් කරයි.

“සමීක්ෂණ දත්තවල නිරවද්‍යතාව සහ වලංගුභාවය සහතික කිරීම සඳහා දෙවැනි වටයේ දත්ත රැස් කිරීම තීරණාත්මක වුණා,” යැයි ඔහු පැහැදිලි කළේය.

“කාලීන නොවූ හෝ සාවද්‍ය තොරතුරු නිකුත් කිරීමෙන් වැළකී සිටීමට අපට අවශ්‍ය වුණා. එමනිසා වාර්තාව අවසන් කිරීමට පෙර ස්වාධීනව දත්ත රැස් කර හරස් පරීක්ෂා කිරීම සඳහා රට පුරා ක්ෂේත්‍ර නිලධාරීන් යොමු කළා” යැයි ඔහු සඳහන් කරයි.

මාර්තු 15 වැනි දින පෙරවරුවේ පවත්වන ලද සංගණනය, නේවාසික සහ කෘෂිකාර්මික ප්‍රදේශ තුළ වන සතුන්ගේ ව්‍යාප්තිය හඳුනා ගැනීම සහ තක්සේරු කිරීම අරමුණු කරගත් මහජන මුලපිරීමක් විය.

මිනිත්තු පහක නිරීක්ෂණ කාලයක් තුළ ආසන්න වටපිටාව තුළ වන සතුන් දුටු අවස්ථා වාර්තා කරන ලෙස ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලැබිණි.

කෘෂිකාර්මික පාඩු සඳහා දායක වන බව වැඩි වැඩියෙන් හඳුනාගෙන ඇති වඳුරන්, ලේනුන් සහ මොනරුන් වැනි බහුලව දක්නට ලැබෙන සතුන් කෙරෙහි සංගණනයේ අවධානය යොමු විය.

ඇතැම් වන සතුන් නිසා ඇතිවන බෝග හානි සහ කෘෂිකාර්මික ගැටලු විසඳීම සඳහා අමාත්‍යාංශයේ පුළුල් උපාය මාර්ගයේ කොටසක් ලෙස සංගණනය ආරම්භ කරන ලදී.

වගා කරන ලද ප්‍රදේශ මෙම සතුන් නිතර නිතර ආක්‍රමණය කිරීම හේතුවෙන් දිස්ත්‍රික්ක කිහිපයක ගොවීන් සැළකිව යුතු පාඩුවලට මුහුණදෙයි.