
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
මෑතකදී BYD Atto 3 විදුලි වාහනයේ මෝටර බලය ගැන ලොකු කතාවක් ගියා. අපිත් රැල්ලට නොගිහින් මේ ගැන පොඩ්ඩක් මොළේ වෙහෙසලා බැලුවා. අපි එකතැන කැරකෙනවා වගේ නිසා, Google කරලා ලෝකය මොන වගේද කියලා හොයලා බැලුවා.
මතුපිටින් බලද්දී ඕන කෙනෙකුට මේක සරල බදු ප්‍රශ්නයක් වගේ පෙනුණත්, ඇත්තටම ඒක රටේ නීති පද්ධතියේ ගැටලුවක්. ඒ බව ඇඹරෙන්නේ නැතුව කෙළින් කියන්න තමයි විස්තරේ ටිකක් ගැඹුරට හොයලා බැලුවේ.
ඇත්තටම මේක ජෝන් කීල්ස් වගේ සමාගමකට හෝ BYD වගේ ලෝකෙම දන්න සමාගමකට දොස් කියන්න පුළුවන් දෙයක් නෙවෙයි. මේක නූතන තාක්ෂණයට නොගැලපෙන අපේ පරණ නීතිවල අඩුපාඩුවක්. කැමති අය මෙතනම ටිපර් පාර්ක් කරගෙන නවතින්න. ඒක ලේසියි.
නමුත් ලෙඩ හොඳ කරගන්න නම් කොච්චර තිත්ත වුණත්, බෙහෙත් බොන්නම වෙනවා. අන්න එහෙම අය අපිත් එක්ක ඉස්සරහට යන්න එන්න.
BYD සඳහා පාවිච්චි කරන තාක්ෂණයම තමයි ටෙස්ලා සඳහාත් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ මේක අලුත් දෙයක් නෙවෙයි!
– Tesla Model 3: එකම මෝටරය භාවිතා කරලා Standard Range සහ Long Range මාදිලි සඳහා වෙනස් බල මට්ටම් ලබා දීලා තියෙනවා.
– Volkswagen ID.3: මේකෙත් ID.3 Pure (110kW), ID.3 Pro (125kW), සහ ID.3 Pro S (150kW) වගේ මාදිලි තුනක් එකම මෝටරයෙන් හදලා තියෙනවා.
– BMW i4: මේකෙත් විවිධ මාදිලිවලට වෙනස් බල මට්ටම් තියෙන්නේ.
නීතිය පරණයි, සමාගම වැරදි නෑ!
මේ තත්ත්වය නිසා දේශීය නියෝජිතයා වන ජෝන් කීල්ස් සමාගමට දොස් කියන එක වැරදියි. ඔවුන් කරලා තියෙන්නේ නිෂ්පාදකයා විසින් නිල වශයෙන් දුන්න 100kW බලය මත නීත්‍යානුකූලව බදු ගෙවීමයි.
එසේ නම්, මෙහිදී වරද ඇත්තේ තාක්ෂණයට අනුගත නොවූ අපගේ නීති පද්ධතියේ බව දැන් පැහැදිලියි. හැබැයි අපි අපිවම රවට්ටගන්න කරන වැඩ නිසා , දේශීයව වාහන ආනයනය කරන ආයතන නීත්‍යානුකූලව කටයුතු කළත්, සමාජය තුළ අවිශ්වාසයක් ඇති වී තියෙනවා. ඔන්න ඕකයි ප්රශ්නය.
ජෝන් කීල්ස්ගේ විනිවිදභාවය සහ විසඳුම් සෙවීම :
විශේෂ කාරණය වෙන්නේ මෙම තත්ත්වය තුළ ජෝන් කීල්ස් සමාගමත් වගකිවයුතු ලෙස කටයුතු කර තිබීම. ගැටලුව සම්බන්ධයෙන් ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කරමින්, ඔවුන් රේගුවේ ඕනෑම පරීක්ෂණයකට සියලු සහාය ලබා දීමට සූදානම් බව ප්‍රකාශ කර අවසන්. මෙය ඔවුන්ගේ විනිවිදභාවය පෙන්නුම් කරනවා. ඊට වඩා කරන්න දේකුත් සමාගමට නෑ.
ඒ වගේම පාර්ලිමේන්තු මුදල් කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා පවා ප්‍රකාශ කළේ, මේ ගැටලුව විසඳා ගැනීමට අන්තර්ජාතික තාක්ෂණික ආයතනයක සහාය ගත යුතු බවයි. එයින්ම පැහැදිලි වෙනවා , මේ ගැටලුව සාමාන්‍ය බදු කාරණයක් නෙවෙයි, තාක්ෂණික විශේෂඥ දැනුම අවශ්‍ය වන සංකීර්ණ ගැටලුවක් බව.
විසඳුම සහ ඉදිරි ගමන
මේ අර්බුදයෙන් ගොඩඑන්න නම්, අපි අපේ ප්‍රතිපත්ති අලුත් කරන්න ඕනේ. ඒක තමයි මෙතුවක් කල් හරියට වෙලා නැතිදේ.
ඇත්තටම අපේ රටට ගැලපෙන්නේ සරල සහ පාරිසරික මෝටර් රථ බදු ප්‍රතිපත්තියක්. එහිදී CIF අගය මත පදනම් වූ ස්ථාවර බද්දක් (Flat Tax on CIF Value), වෙත යනවද නැද්ද ?නැත්නම් විකල්ප ගැන සාකච්ජා කරන්න පුළුවන්.
නමුත් කාබන් විමෝචනය මත පදනම් වූ පාරිසරික බද්දක් ගැන නම් හිතන එක තවත් පරක්කු කරන්න නරකයි. (ඒ කාළේ මුදල් ඇමති මංගලත් ලොකු බරක් තිබ්බේ මේ වගේ එකකට.)
වාහනයෙන් පිටවන කාබන් ප්‍රමාණය (ග්‍රෑම්/කිලෝමීටරයට) අනුව බද්දක් අය කිරීම.
මේ බද්ද මඟින්, පරිසරයට හානිකර වාහන ආනයනය අධෛර්යමත් කරන අතර, විදුලි (EV) සහ දෙමුහුන් (Hybrid) වාහන සඳහා බදු සහන හෝ සම්පූර්ණ බදු නිදහස ලබා දීමක් කරන්න පුළුවන් නම් මරු. මොකද එයින් ජනතාව පරිසර හිතකාමී වාහන මිලදී ගැනීමට පෙළඹවීමක් සිද්ධ වෙනවා.
මගේ අදහස නම් බදු සහන සහ ආනයන සීමා කිරීම් වෙන්න ඕන.
එතනදි නිෂ්පාදන බද්ද (Excise Duty) වැනි අමතර බදු ඉවත් කර, ස්ථාවර සහ පාරිසරික බදු ක්‍රම දෙක පමණක් භාවිත කිරීම ගැන හිතුවොත් හොඳයි.
ඒ එක්කම වාහනයේ වයස මත ආනයන සීමා පැනවීම (උදා: වසර 5කට වඩා පැරණි වාහන තහනම් කිරීම). මෙය රටට ආනයනය කරන වාහනවල ගුණාත්මකභාවය ඉහළ නංවන අතර, නඩත්තු වියදම් අවම කරනවා.
මෙම යෝජනාවේ ප්රතිලාභ ගැන හිතුවොත්,
– වැඩේ සරලයි : බදු ගණනය කිරීමේ ක්‍රියාවලිය විනිවිදභාවයෙන් සහ පහසුවෙන් සිදු කරන්න පුළුවන්.
– පරිසර හිතකාමී බව: රටේ වායු දූෂණය අඩු කිරීමට ඍජුවම දායක වෙනවා.
– සාධාරණත්වය: වාහනයේ සැබෑ වටිනාකම සහ පරිසරයට ඇති බලපෑම මත බදු අය කිරීමක් වෙනවා.
– රජයේ ආදායම: බදු එකතු කිරීමේ කාර්යක්ෂමතාව වැඩි දියුණු කිරීමක් සිදුවෙනවා.
මේ වගේ සරල බදු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක කිරීමෙන්, මෝටර් රථ ආනයන කර්මාන්තය ස්ථාවර තත්ත්වයකට පත් කළ හැකි අතර, පාරිභෝගිකයාටද වාසියක් වෙනවා.
ඇත්තටම ගත්තොත්, දැන් ලෝකයේ ට්‍රෙන්ඩ් එක පරිසර හිතකාමී වාහන භාවිතය දිරිමත් කිරීමයි.
ඒ සඳහා බදු ප්‍රතිපත්ති යොදා ගන්නා රටවල් බොහොමයක් තිබෙනවා. විශේෂයෙන්ම, යුරෝපීය සංගමයේ (EU) රටවල් මෙම ක්‍රමය බහුලව භාවිතා කරනවා.
කාබන් විමෝචනය (CO2 Emissions) මත පදනම් වූ බදු: වාහනයෙන් පිටවන කාබන් ප්‍රමාණය වැඩි වන විට බද්ද ද ඉහළ යනවා. එමගින්, පරිසරයට හානිකර වාහන මිලදී ගැනීමෙන් ජනතාව අධෛර්යමත් කරනවා.
බදු සහන සහ නිදහස් කිරීම්: විදුලි වාහන (EV) සහ දෙමුහුන් (Hybrid) වාහන සඳහා බදු අඩු කිරීම හෝ සම්පූර්ණයෙන්ම බදුවලින් නිදහස් කිරීම. සමහර රටවල ඉතා අඩු කාබන් විමෝචනයක් සහිත වාහන සඳහා සම්පූර්ණ බදු නිදහසක් පවතිනවා.
‘Bonus-Malus’ ක්‍රමය: සමහර රටවල් මෙම ක්‍රමය භාවිතා කරනවා. මෙහිදී පරිසර හිතකාමී වාහන මිලදී ගන්නා අයට මුදල් ප්‍රදානයන් (Bonus) ලබා දෙන අතර, පරිසරයට හානිකර වාහන සඳහා අධිභාරයක් (Malus) පනවනු ලබනවා.
ඒ නිසා පොඩ්ඩක් කල්පනා කරලා බලන්න, අපි ඉන්නේ කොතනද ? යන්න ඕන කොතනටද කියලා. මේවා හිතළු නෙවෙයි.
නෙදර්ලන්තය ගත්තොත්, නව වාහන සඳහා බදු අයකරනු ලබන්නේ කාබන් විමෝචනය මත පදනම්වයි. ඒ වගේම විදුලි වාහන සඳහා බදු සහන සහ වෙනත් දිරිගැන්වීම් ලබාදෙනවා.
ෆින්ලන්තය ගැන බැලුවොත් විසින් වාහනයේ කාබන් විමෝචනයට අනුරූප ලෙස බදු අනුපාත වෙනස් කරනවා.
ප්‍රංශය ගත්තොත්, ‘Bonus-Malus’ ක්‍රමය භාවිතා කරනවා. එහිදී අඩු විමෝචනයක් සහිත වාහන සඳහා දීමනා ලබා දෙන අතර, වැඩි විමෝචනයක් සහිත වාහන සඳහා දඬුවම් බදු අයකරනවා.
එතකොට ජර්මනිය වාහනයක කාබන් විමෝචනය සහ එන්ජින් ධාරිතාව අනුව බදු අය කෙරෙනවා. ඒ වගේම විදුලි වාහන මිලදී ගැනීමට දිරිගැන්වීම් ද ලබාදෙනවා.
ඊශ්‍රායලයේ ‘හරිත බදු’ ක්‍රමයක් පවතින අතර, එය වාහනවල විවිධ විමෝචන වර්ග මත පදනම්ව ක්‍රියාත්මක වෙනවා.
මේ රටවල් සියල්ලම තම ආර්ථිකය සහ පරිසර ප්‍රතිපත්ති සමතුලිත කරමින් බදු ක්‍රම සකස් කර තිබෙනවා. මෙවැනි බදු ප්‍රතිපත්ති මගින් රජයේ ආදායම සුරක්ෂිත කරන අතරම, ජනතාව පරිසර හිතකාමී පුරුදුවලට යොමු කරවීමට උත්සාහ කරනවා.
ඒ වගේම රේගුව වැනි ආයතන නවීන විදුලි වාහන පරීක්ෂා කරන්න අවශ්‍ය උපකරණ සහ දැනුම ලබා ගත යුතුයි.
මේ තියෙන්නේ මේ ගැටළුව අධ්‍යයනයේදී ඒ අතපතගාන අතරේ සිහිපත් වුනු යෝජනා කිහිපයක් විතරයි. මේ ගැන උනන්දු, වැඩි දැනුමක් ඇති අයට පුළුවන් මේවා තවත් පෝෂණය කරන්න.
කොහොම වුණත් රටක් විදිහට අපි නවීන ලෝකයට ගැළපෙන්න වෙනස් වෙන්න ඕන. ඒකට ව්‍යාපාරික සමාගම්වලට පහසුකම් සලසනවා මිස, ඒවාට චෝදනා කරන එකෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ! මේ අර්බුදය, සමාගම්වලට චෝදනා කරනවා වෙනුවට, අපේ නීති පද්ධතිය අලුත් කරගන්න ලැබුණු හොඳම අවස්ථාවක් කරගන්න ඕන. අපිත් ලෝකයත් එක්ක අලුත් වෙන්න ඕන !
ඇත්තටම ප්‍රශ්නයක් ආවහම, ගහලා කුඩුකරන ආකල්පයක් තමයි අපේ වගේ රටවල තියෙන්නේ. අමතක කරන්න එපා, සමාගම් කියන්නේ රටක හදවත වගේ දෙයක්. ඒක තේරුම් ගන්න ඔබේ හෝ ඔබේ සමීපතමයකුගේ රස්සාව නැති වෙන්නම ඕන නෑ.
කොහොමටත් සමාගමක් වැටුණොත්, සමාගම්, ලොකු ව්‍යාපාර නැති වුණොත් රැකියා නැතිවෙනවා, ආර්ථිකය කඩා වැටෙනවා, අලුත් ටෙක්නොලොජි එන්නෙත් නෑ. අන්තිමේ වෙහෙස නිවාගන්න, යන්තම් වතුර උගුරක් විතරක්ම තියෙන පරණ අම්බලමක් වගේ රටක් තමයි ඉතුරු වෙන්නේ.
ඔබ කැමති කොහොම වෙනවාටද ? තේරීම ඔබ අතේ. ඔබේ තේරීම මත හෙට රටේ ඉරණමත් තීන්දු වෙනවා. ඒ ඉරණමේ ඔයත් අවධානම හිමි කොටස් කාරයෙක් වෙනවා.
සටහන – සෞම්‍ය ලියනගේ
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart