May 21, 2025

බදුල්ල රජ වීදියේ පදික වේදිකාවක දී සිදු වූ පිහි ඇනුමකින් පුද්ගලයකුට බරපතළ තුවාල සිදුවීමේ සිද්ධියක් සම්බන්ධයෙන් බදුල්ල පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පොලිසිය පවසන්නේ එකම පවුලේ සහෝදරයන් දෙදෙනෙකු අතර එම ආරවුල හටගෙන ඇති බවයි.

පදික වේදිකාවේ වෙළඳාමේ යෙදී සිටි වැඩිමහල් සහෝදරයාට බාල සහෝදරයා විසින් තියුණු ආයුධයකින් පහර දීමත් සමග ඔවුන් අතර ආරවුලක් උත්සන්න වී තිබේ.

පහරදීම අතරතුර පොලිස් සැරයන්වරයකු සහ අසල සිටි අයකු මැදිහත් වී සැකකරු එම ස්ථානයේදීම අත්අඩංගුවට ගැනීමට සමත් වී ඇත.

සිද්ධියෙන් දෙදෙනාම තුවාල ලබා ඇති බව පොලිසිය පැවසීය.

බරපතළ තුවාල ලැබූ වයස අවුරුදු 48ක බාල සහෝදරයා බදුල්ල මහ රෝහලට ඇතුළත් කර ඇත.

වයස අවුරුදු 53ක වැඩිමහල් සහෝදරයා ද පොලිස් ආරක්ෂාව යටතේ රෝහල් ගතකර ඇත.

බදුල්ල මහ රෝහලේ වෛද්‍ය පාලිත රාජපක්ෂ ෆේස්බුක් සටහනක් මගින් ප්‍රකාශ කර තිබුණේ මෙම සිද්ධිය මොවුන් දෙදෙනා අතර සිදු වූ පළමු ප්‍රචණ්ඩ ගැටුම නොවන බවයි.

මීට පෙර සිදුවීමකදී, බාල සහෝදරයා වැඩිමහල් සහෝදරයාට පිහියෙන් ඇන ඇති බවත්, ශල්‍යකර්ම හේතුවෙන් ඔහු දිවි ගලවා ගත් බවත්, රෝහලේ දැඩි සත්කාර ඒකකයේ මාසයකට ආසන්න කාලයක් ඔහු සිටි බවත් වෛද්‍යවරයා හෙළි කළේය.

මොවුන් දෙදෙනාගේ ගැටුමට දිගු ඉතිහාසයක් ඇති බවත් පහරදීම් හේතුවෙන් කිහිප වතාවක් රෝහල් ගතකර ඇති බවත් වාර්තා වේ.