June 1, 2025

කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී කුෂ් මත්ද්‍රව්‍ය කිලෝග්රෑම් 46 ක් සමග අත්අඩංගුවට ගත් බ්‍රිතාන්‍ය ජාතික කාන්තාව, ලබන 13 වැනිදා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි.

ඒ, ඇය, මීගමුව අතිරේක මහේස්ත්‍රාත් දර්ශිමා ප්‍රේමරත්න හමුවට ඉදිරිපත් කළ අවස්ථාවේදීයී.

පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශය, අධිකරණයට ඉදිරිපත් කළ කුෂ් මත්ද්‍රව්‍ය තොගය, නඩු භාණ්ඩ කාමරයේ තැන්පත් කරන්නැයි, මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

එහිදී සැකකාරිය වෙනුවෙන් පෙනීසිටි ජ්‍යෙෂ්ඨ නීතිඥ සම්පත් පෙරේරා සඳහන් කළේ, ඇය රඳවා ඇති බන්ධනාගාරය වෙත ගිය, ජනමාධ්‍යවේදීන් යැයි කියාගන්නා පිරිසක්, එය විඩියෝගත කර ලොව පුරා ප්‍රචාරය කර ඇති බවයි.

ඉන් ඇයට අගතියක් සිදුව ඇති බැවින් ඒ පිළිබඳ සොයාබලා සුදුසු නියෝගයක් නිකුත් කරන්නැයි, ඔහු අධිකරණයෙන් ඉල්ලා සිටියේය.

එහිදී මහේස්ත්‍රාත්වරිය කළ විමසීමේදී බන්ධනාගාර නිලධාරීන් සඳහන් කළේ, හිතවතුන්‍ ලෙස පැමිණ ඇය සමග කතාකිරීමට අවසර ඉල්ලූ පිරිසකට සාමාන්‍ය ක්‍රමවේදය යටතේ අවසර දුන් බවයි.

එම අවස්ථාවේ පැ‍මිණි පුද්ගලයකු, ඉතා සංවේදී බොත්තමක් වැනි උපකරණයක් මගින් වීඩියෝග ගත කර ඇතැයි, නිලධාරීන් ප්‍රකාශ කළේ ය.

⁣විදෙස් ජනමාධ්‍යවේදීන් නඩුව වාර්තා කිරීමට පැමිණ සිටීම සම්බන්ධයෙන් අවධානය යොමුකළ බන්ධනාගාර නිලධාරීහු, ඒ පිළිබඳව ද මහේස්ත්‍රාත්වරියට කරුණු වාර්තා කළහ.

එහිදී අතිරේක මහේස්ත්‍රාත්වරිය සඳහන් කළේ, විදෙස් ජනමාධ්‍යවේදීන් නඩුව වාර්තා කිරීම සම්බන්ධයෙන් තමන්ට ගැටලුවක් නොමැති බැවින් එය වාරණය කිරීමට අවශ්‍ය නොවන බවයි.

එහෙත් සැකකාරියට ඒ සම්බන්ධයෙන් ගැටලු ඇත්නම්, මින් ඉදිරියට නඩුව මාර්ගගත ක්‍රමවේදයක් යටතේ ගැනීමට හැකි බව ද ඇය සඳහන් කළාය.

සැකකාරිය පැවසුවේ, තමා අධිකරණයට පැමිණීමට කැමති බවයි.

කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරිය නියෝග කළේ, මින් ඉදිරියට සැකකාරිය බැලීමට පැමිණෙන අමුත්තන් කළින් අවසරයක් ලබාගත යුතු බවයි.

ඇය අකමැති නම් කිසිදු පුද්ගලයකුට ඇය නොපෙන්වන ලෙස ද, බන්ධනාගාර නිලධාරීන්ට නියෝග කෙරිණි.

බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර සිට පැමිණි 21 හැවිරිදි සැකකාරිය, කටුනායක අන්තර්ජාතික ගුවන් තොටුපොළේදී අත්අඩංගුවට ගැනුණේ, පසුගිය 13 වැනිදාය.