June 4, 2025

ඕස්ට්‍රේලියානු නියෝජ්‍ය අගමැති සහ ආරක්ෂක අමාත්‍ය රිචඩ් මාල්ස් විසින් බීච්ක්‍රාෆ්ට් කිං එයාර් 350 ගුවන්යානය ඊයේ (03) නිල වශයෙන් ශ්‍රී ලංකා ගුවන් හමුදාවට භාර දී ඇත.

නියෝජ්‍ය අගමැතිවරයා සිය සංචාරය නිමවා ශ්‍රී ලංකාවෙන් පිටත්ව යෑමට පෙර එම ගුවන්යානය පරීක්ෂා කිරීමෙන් අනතුරුව එලෙස භාර දී ඇත.

ඕස්ට්‍රේලියානු රජය විසින් තෑගි කරන ලද බීච්ක්‍රාෆ්ට් කිං එයාර් 350 යානය පරීක්ෂා කිරීම සඳහා විශේෂ නියෝජිත පිරිස එහි සංචාරයක නිරත වූ බව ශ්‍රී ලංකා ගුවන් හමුදාව නිවේදනයක් නිකුත්කරමින් සඳහන් කර තිබේ.

ගුවන් හමුදාපති එයාර් මාර්ෂල් බන්දු එදිරිසිංහ විසින් ඔහුව පිළිගෙන ඇත.

සංචාරය අතරතුර, නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයා KA 350 යානයේ අණදෙන නිලධාරියා සහ ගුවන් කාර්යමණ්ඩල සාමාජිකයන් සමඟ සුහද සාකච්ඡාවල ද නිරත වී තිබේ.

නියෝජ්‍ය අග්‍රාමාත්‍යවරයාගේ නික්මයෑමේදී ගුවන් හමුදාවෙන් චාරිත්‍රානුකූලව සිය ආචාරය ලබාදුන් බව නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වේ.

මෙම අවස්ථාවට ගුවන් මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් දේශප්‍රිය සිල්වා, භූමි මෙහෙයුම් අධ්‍යක්ෂ ජෙනරාල් එයාර් වයිස් මාර්ෂල් රුවන් චන්දිම, කටුනායක ගුවන් හමුදා කඳවුරු අණදෙන නිලධාරී එයාර් කොමඩෝර් අසේල ජයසේකර සහ තවත් නිලධාරීන් ද සහභාගී වී ඇත.