May 19, 2024

මෙරට එකම තෙල් පිරිපහදුව වන සපුගස්කන්ද පිරිපහදුව රජය සතු ව්‍යවසායයක් (SOE) බවට පරිවර්තනය කිරීමේදී එහි සේවකයන් 650කට අධික පිරිසකට රැකියා අහිමි වීමේ අවදානමක් පවතින බව වාර්තා වේ.

දැනට සිටින සේවකයන්ගෙන් 200ක් පමණ නව රජය සතු ව්‍යවසාය සඳහා බඳවා ගැනීමට රජය සැලසුම් කර ඇති බව විශ්වාස කටයුතු ආරංචි මාර්ග පෙන්වා දෙයි.

ඉතිරි කම්කරුවන් සංචිතයකට යොමු කෙරෙන අතර එයින් නව රජය සතු ව්‍යවසාය විසින් මෙහෙයුම් පවත්වාගෙන යෑමට අවශ්‍ය පිරිස් තෝරා ගනු ඇති බව දැනගන්නට ඇත.

සපුගස්කන්ද තෙල් පිරිපහදුව ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවෙන් (CPC) වෙන්ව පොදු ව්‍යාපාරයක් ලෙස පවත්වාගෙන යෑමේ යෝජනාව ඇමැති මණ්ඩලය විසින් අනුමත කර තිබේ.

විදුලිබල හා බලශක්ති ඇමැති කාංචන විජේසේකර විසින් ඉදිරිපත් කරන ලද කරුණු දැක්වීමකට අනුව මාර්තු මාසයේ පැවති කැබිනට් රැස්වීමේදී මෙම තීරණය ගෙන ඇත.

සතිපතා කැබිනට් තීරණ ගෙනහැර දක්වන රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ ප්‍රකාශයකට අනුව, පිරිපහදුවේ පැරණි යටිතල පහසුකම් නවීකරණය කිරීම සහ වැඩිදියුණු කිරීම සඳහා පවතින ආයෝජන අවශ්‍යතාව මත මෙම පියවර ගෙන තිබේ.

ඉලක්කය වන්නේ අවම වශයෙන් තවත් වසර 25ක් සඳහා පිරිපහදුවේ මෙහෙයුම් කාර්යක්ෂමතාව සහ ශක්‍යතාව සහතික කිරීමයි.

X සමාජ මාධ්‍ය වේදිකාවේ නිවේදනයක් නිකුත් කරමින් ඇමැති විජේසේකර හෙළිකළේ යටිතල පහසුකම් වැඩිදියුණු කිරීමට සහ වත්මන් මෙහෙයුම් අභියෝගවලට මුහුණ දීමට සුදුසු ආයෝජන හවුල්කරුවකු සොයා ගැනීමට උනන්දුවක් දක්වන ප්‍රකාශ (EOIs) කැඳවන බවයි.

තවද, සපුගස්කන්ද තෙල් පිරිපහදුව ත්‍රිකුණාමලයට ගෙනයෑමට සැලසුම් කර ඇති අතර, අනාගත මෙහෙයුම් සඳහා සහාය වීම සඳහා නවීකරණය කරන ලද, නවීන පහසුකම් ස්ථාපිත කිරීම සහ තෙල් ටැංකි සංකීර්ණය පුළුල් කිරීම ඇතුළත් වන බව ද ඇමැතිවරයා අනාවරණ කළේය.

මේ අතර, ලංකා ඛනිජ තෙල් පොදු සේවක සංගමයේ සභාපති අශෝක රන්වල චෝදනා කළේ පිරිපහදුවේ ඉහළ පෙළේ නිලධාරීන්ට රජය පිහිටුවීමට සැලසුම් කර ඇති නව සමාගමේ අධ්‍යක්ෂ තනතුරු ලබා දෙන බවට පොරොන්දු වී ඇති බවත්, එම නිසා ඔවුන් එම පියවරට විරුද්ධ නොවන බවත්ය.

“ඔවුන් මෙම පියවර සමඟ ඉදිරියට ගියහොත්, සේවකයන් ගණනාවකට ඔවුන්ගේ රැකියා අහිමි වනවා. ශ්‍රී ලංකාවට ඇත්තේ එක් පිරිපහදුවක් පමණයි. ඔවුන් එය පෞද්ගලීකරණය කළහොත් සමස්ත ඛනිජ තෙල් ක්ෂේත්‍රයේ පාලනය රජයට අහිමි වනු ඇති,” යනුවෙන් ඔහු අවධාරණය කළේය.

ත්‍රිකුණාමලයේ චයිනා හාබර් හි ටැංකි සහිත ප්‍රදේශය සංවර්ධනය කිරීම සඳහා ආයෝජකයකු සොයා ගැනීම සඳහා ප්‍රසම්පාදන ක්‍රියාවලියකට මේ වසර මුලදී කැබිනට් අනුමැතිය හිමි විය.

මෙම සැලසුමට ඉන්ධන ටැංකි 99න් 61ක් සීමාසහිත ට්‍රින්කෝ පෙට්‍රෝලියම් ටර්මිනල් සමාගමට වසර 50කට බදු දීම ඇතුළත් වේ.

ටැංකි නවයක් ප්‍රතිසංස්කරණය කිරීම, කිලෝමීටර් 1.75ක නල මාර්ගයක් එලීම සහ ගොඩනැගීම, ක්‍රියාත්මක කිරීම සහ මාරු කිරීම පදනම මත ආධාරක පහසුකම් ගොඩනැගීමෙන් ආරම්භ වන අදියර හතක් යටතේ මෙම සංවර්ධනය වසර 16ක සැලැස්මක් අනුගමනය කරයි.

1969 දී ඉරානයේ ආධාර ඇතිව ඉදිකරන ලද සපුගස්කන්ද තෙල් පිරිපහදුව දැනට දේශීය පිරිපහදු කළ ඛනිජ තෙල් අවශ්‍යතාවයෙන් 25%ක් සපුරාලයි.

2010 කරන ලද අධ්‍යයනයකින් එහි වැඩි දියුණු කිරීම් සඳහා ඩොලර් බිලියන 2ක මිලක් ඇස්තමේන්තු කර ඇති අතර, අධික පිරිවැය හේතුවෙන් එය පුළුල් කිරීමේ සැලසුම් නවතා දමා ඇත.

ආයෝජන ආකර්ෂණය කර ගැනීම සඳහා පිරිපහදුව වෙනම පොදු ව්‍යවසායයක් බවට පත් කිරීම සහ වඩා හොඳ ආර්ථික කාර්යක්ෂමතාවයක් සඳහා රජයේ ව්‍ය්වසායයක් ලෙස නවීකරණය කිරීම රජයේ අරමුණයි.

2023 නොවැම්බරයේදී, ආර්ථික අර්බුදයෙන් පසු විශාලතම ආයෝජනය සනිටුහන් කරමින්, හම්බන්තොට නව පිරිපහදු හා සැකසුම් මධ්‍යස්ථානයක් ඉදිකිරීම සඳහා චයිනා පෙට්‍රෝලියම් සහ කෙමිකල් කෝපරේෂන් (සිනොපෙක්) වෙත ඩොලර් බිලියන 4.5ක කොන්ත්‍රාත්තුවක් ද කැබිනට් මණ්ඩලය විසින් ප්‍රදානය කරන ලදී.

 

(The Sunday Morning)