
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ඕස්ට්‍රේලියාවේ සිඩ්නි නුවර ප්‍රකට බිෂොප්වරයකු දේව මෙහෙයක් අතරතුර පිහි ඇනුමකට ලක්ව රෝහල්ගත කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වන වීඩියෝ මගින් පෙන්නුම් කෙරෙන්නේ සඳුදා රාත්‍රියේ දේශනය පවත්වමින් සිටියදී මාර් මාරි එම්මානුවෙල් නමැති එම බිෂොප්වරයා වේක්ලිස් ක්‍රයිස්ට් ද ගුඩ් ෂෙපර්ඩ් දේවස්ථානයේදී පිහි ඇනුමකට ලක් වූ බවයි.
කළු පැහැ ඇඳුමකින් සැරසුණු තරුණයකු සන්සුන්ව ඔහු වෙත ගොස් බිෂොප්වරයාගේ ගෙළල ප්‍රදේශයට පිහි ප්‍රහාරයක් එල්ල කරනු අදාළ වීඩියෝ දර්ශනවල දැකිය හැකියි.
ප්‍රහාරයත් සමග බිෂොප්වරයා බිම ඇද වැටෙන අතර ඔහුගේ තත්වය කෙසේද යන්න වාර්තා නොවේ.
එම අවස්ථාවේදී බිෂොප්වරයාට සහායවීමට කිහිපදෙනෙකු උත්සාහ කරන අතර එම ස්ථානයේ සිටින පුද්ගලයන් කෑගසන අයුරු එම වීඩියෝවල ඇතුළත් වේ.
තවත් 50 හැවිරිදි පුද්ගලයෙකු පිහි ඇනුම් තුවාල කිහිපයක් සමඟ ලිවර්පූල් රෝහලට ගෙන ගොස් ඇති බව විදෙස් ජනමාධ්‍ය පවසයි.
තවත් පුද්ගලයින් තිදෙනෙකු ද තුවාල ලබා ඇති අතර ඔවුන්ට එම ස්ථානයට පැමිණි වෛද්‍යවරුන් ප්‍රතිකාර සිදු කර තිබේ.
තුවාලකරුවන් අතර අවුරුදු 30, 20 සහ 60 හැවිරිදි වයස්වල පසුවන බව ද සඳහන් වේ.
සිද්ධිය වූ ස්ථානයට පොලිස් නිලධාරීන් විශාල පිරිසක් කැඳවා තිබූ බවත්, එහි රැස්වූ පිරිස් කලහකාරී අයුරින් හැසුරුනු බවත් විදෙස් ජනමාධ්‍ය වාර්තා කර ඇත.
ප්‍රකාශයක් නිකුත් කරමින් නිව්සවුත් වේල්ස් පොලීසිය පැවසුවේ පිහි ඇනුම පිළිබඳ වාර්තා වීමෙන් පසු වේක්ලි හි මෙහෙයුමක් ක්‍රියාත්මක වෙමින් පවතින බවයි.
එම ප්‍රදේශය මගහැර සිටින ලෙස ද ඕස්ට්‍රේලියානු පොලිසිය ජනතාවට දැනුම් දී තිබේ.
මෙම ප්‍රහාරය එල්ල වන්නේ සිඩ්නි නුවර බොන්ඩි වෙස්ට්ෆීල්ඩ් සාප්පු සංකීර්ණයක සිදු වූ පිහි ඇනුමකදී පුද්ගලයන් හයදෙනකු මියගොස් දින තුනකට පසුවයි.
කෙසේවෙතත් සිදුවීම් දෙක අතර කිසියම් සම්බන්ධයක් ඇති දැයි මෙතෙක් වාර්තා වී නොමැත.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart