September 18, 2025

භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශයේ අඩුපාඩු හේතුවෙන් වැලි කැණීම් ව්‍යාපෘතියකින් රජයට රුපියල් මිලියන 12ක ආදායමක් අහිමි වී ඇතැයි පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව (කෝප්) හමුවේ අනාවරණ වී තිබේ.

අධීක්ෂණ කටයුතු දැඩි කරන ලෙසත්, තවදුරටත් පාඩු වළක්වා ගැනීම සඳහා පතල් හා ඛනිජ පනත සංශෝධනය කරන ලෙසත් එහි සාමාජික මන්ත්‍රීවරුන් එම කාර්යංශයට උපදෙස් දී ඇත.

2022 සහ 2023 වසර සඳහා විගණකාධිපතිවරයාගේ වාර්තා සහ කාර්යාංශයේ වත්මන් කාර්ය සාධනය, ආචාර්ය නිශාන්ත සමරවීරගේ ප්‍රධානත්වයෙන් සැප්තැම්බර් 12 වැනි දින පාර්ලිමේන්තුවේදී කෝප් කමිටුව විසින් සමාලෝචනය කිරීමේදී මෙය අනාවරණ වී තිබේ.

විගණකාධිපතිවරයාට අනුව, 2023 දෙසැම්බර් සහ 2024 සැප්තැම්බර් යන කාලය අතර පුත්තලම දිස්ත්‍රික්කයේ මුක්කුතොඩුවාව වතුයායේ වැලි ඉවත් කිරීමට භූ විද්‍යා සමීක්ෂණ හා පතල් කාර්යාංශය පෞද්ගලික සමාගමකට බලපත්‍රයක් ලබා දී ඇත.

ඇස්තමේන්තුගත වැලි ඝනමීටර් 36,531 සිට 45,561 දක්වා ඉවත් කළද, රජයට අයත් මුදල් එකතුකර ඇත්තේ ඝන මීටර් 1,594 කට පමණක් වන අතර, මුළු මුදල රු. 686,464 කි.

මෙම ඌණ වාර්තාකරණය හේතුවෙන් රජයේ ආදායමට රුපියල් මිලියන 12 කට අධික පාඩුවක් සිදුව ඇති බව කමිටුව පවසයි.

නිකුත් කරන ලද පුපුරන ද්‍රව්‍ය ප්‍රමාණය අනුව ගල්කොරි සඳහා කර්තෘභාගය ගණනය කිරීමේ වත්මන් ක්‍රමවේදය පිළිබඳව ද කෝප් කමිටුව ප්‍රශ්න කර තිබේ.

එහි සාමාජිකයන් පවසා ඇත්තේ මෙම පද්ධතිය මඟින් ගණනය නොකළ කැණීම් සඳහා ඉඩ ලබාදෙන බැවින්, රට පුරා විශාල වශයෙන් කැණීම් සිදුවුවද මහාපරිමාණයෙන් ආදායම් අහිමි වීමට එය හේතු වන බවයි.

කෝප් කමිටුව විසින් ගවේෂණ බලපත්‍ර (ELs) නිකුත් කිරීමේ අක්‍රමිකතා ද විමර්ශනය කර තිබේ.

එහිදී අනාවරණ වී ඇත්තේ 1993 සිට බලපත්‍ර 450කට වඩා නිකුත් කර ඇතත් සක්‍රීයව පවතින්නේ 43ක් පමණක් බවයි.