May 30, 2025

රුපියල් මිලියන 27 ක මුදල් හැසිරවීම සඳහා වෙනත් පුද්ගලයකුගේ නමින් බැංකු ගිණුමක් භාවිත කළ බවට එල්ල වන චෝදනා සම්බන්ධයෙන් කොළඹ මූල්‍ය අපරාධ විමර්ශන අංශය විසින් චමින්ද රවි ජයනාත් නොහොත් ‘දෙමටගොඩ චමින්ද’ සැකකරුවකු ලෙස නම් කර ඇත.

එම මුදල් හෙරොයින් සහ ස්ඵටික මෙත් (ICE) ජාවාරමින් ලැබුණු බවට පොලිසිය සැක පළකරයි.

ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් මූල්‍ය අපරාධ අංශයට ලබාදුන් තොරතුරක් අනුව, එම පරීක්ෂණ ආරම්භ කර ඇත.

අධිකරණට අනුව, පළමු සැකකරු වන උදිත් නිශාන්තගේ නමින් පෞද්ගලික බැංකු ගිණුමක් ඇති බව අනාවරණය වී තිබේ.

දෙමටගොඩ චමින්ද මත්ද්‍රව්‍ය ජාවාරමෙන් ලබාගත් මුදල් පළමු සැකකරුගේ නමින් පවත්වාගෙන යන බැංකු ගිණුමක් හරහා යොමුකොට භාවිත කර ඇතැයි විමර්ශනවලින් හෙළි වී ඇති බව විමර්ශන අංශය අධිකරණයට දැනුම් දී තිබේ.

වැඩිදුර පරීක්ෂණවලින් පසු නඩුව දෙසැම්බර් 12 වැනි දින නැවත කැඳවීමට කොළඹ අතිරේක මහේස්ත්‍රාත් මංජුල රත්නායක නියෝග කර ඇත.

එමෙන්ම, ඊළඟ නඩු දිනයේදී ස්කයිප් හරහා සැකකරුවන් ඉදිරිපත් කරන ලෙස අධිකරණය බන්ධනාගාර බලධාරීන්ට නියෝග කළේය.