
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
පයාගල පොලිසියේ රථවාහන අංශ නිලධාරීන් අමානුෂික ලෙස පහරදුන් බව පවසමින් 16 හැවිරිදි පාසල් සිසුවකු රෝහල්ගත කර ඇති බව කළුතර නාගොඩ ශික්ෂණ රෝහල් ප්‍රකාශකයකු පැවසීය.
මෙලෙස රෝහල්ගත කර ඇත්තේ පයාගල මලේගොඩ ප්‍රදේශයේ පදිංචි තරුෂ ජිනාල් නමැති පාසල් සිසුවෙක් බව පොලිසිය පවසයි.
රෝහල්ගත කර ඇති සිසුවා මිතුරකු සමග ඊයේ (07) පස්වරුවේ පියාට අයත් යතුරුපැදියෙන් අසල ඇති වෙළෙඳසැලකට ගොස් තිබේ.
එහිදී මිතුරා ආරක්ෂිත හිස්වැසුමක් පැළඳ නොසිටි බව වාර්තා වෙයි.
ඒ බව දුටු පයාගල පොලීසියේ රථවාහන අංශයේ ජංගම රාජකාරීවල නිරතවී සිටි නිලධාරින් දෙදෙනකු ඔවුන් පසුපස හඹාගොස් යතුරුපැදිය නතර කර බැනවැදී තිබේ.
ඉන් බියට පත්වී ඇති පාසල් සිසුවා යතුරුපැදිය ක්‍රියාත්මක කර අසල ඥාති නිවසක් කරා එය ධාවනය කර ඇති බව වාර්තා වෙයි.
ඒ අනුව නැවත ඔවුන් ලුහුබැඳ පැමිණි පොලිස් නිලධාරීන් යතුරුපැදියේ පසුපැදිකරු ලෙස සිටි සිසුවාට පහරක් එල්ලකර තිබේ.
පසුව යතුරුපැදිය ධාවනය කළ සිසුවාට කිහිපවරක් පහරදී ඇති බවද පැවසෙයි.
පහරකෑමෙන් බිම ඇදවැටී ඇති සිසුවාව මෙලෙස රෝහල්ගත කර ඇත.
අදාළ සිසුවා ප්‍රකාශ කර ඇත්තේ බිම ඇදවැටුණු පසු පොලිස් නිලධාරියෙක් තමාගේ කොන්ද ප්‍රදේශය පෑගූ බවය.
පහරකෑමට ලක්වූ පාසල් සිසුවා කළුතර නාගොඩ ශික්ෂණ රෝහලට ඇතුළත් කෙරුණු අතර ඔහු 5 වන වාට්ටුවේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටින බව වාර්තා වෙයි.
සිද්ධිය සම්බන්ධයෙන් පහරකෑ සිසුවාගේ පියා වන ඩබ්ලිව්.ඒ. අසංක විසින් මේ සම්බන්ධයෙන් කළුතර ජ්‍යේෂ්ඨ පොලිස් අධිකාරි කාර්යාලය වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කර ඇත.
ඔහු පවසන්නේ, තමාගේ පුතාට මෙන් තවත් දරුවකුට මෙවන් අමානුෂික පහරදීමක් සිදුනොකිරීමට කටයුතු කරන ලෙස බලධාරීන්ගෙන් ඉල්ලා සිටින බවය.
සිද්ධියට සම්බන්ධ පොලිස් සැරයන්වරයාට මේ වනවිට ස්ථාන මාරුවක් ලබාදී ඇති බවද වැඩිදුර විමර්ශන ක්‍රියාත්මක බවද පොලීසියේ උසස් නිලධාරියකු පැවසීය.(අද දෙරණ)
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart