January 10, 2026

මන්නාරම් ද්‍රෝණියේ කොටස් හතරක තෙල් සහ ස්වාභාවික ගෑස් ගවේෂණය හා සංවර්ධනය සඳහා සහභාගී වීමට කටාර් සහ ඉන්දියාව වැනි රටවල බලශක්ති සමාගම් දැනටමත් කැමැත්ත පළ කර ඇති බව ශ්‍රී ලංකා ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ නිලධාරියෙක් ප්‍රකාශකර තිබේ.

ඔහු පවසා ඇත්තේ අන්තර්ජාතික ලංසු තැබීම කඩිනමින් ආරම්භ කරන අතර විවිධ රටවල අනාගත ගෝලීය බලශක්ති සමාගම් සහ ජාතික තෙල් සමාගම් සඳහා ඔවුන්ගේ ලංසු ඉදිරිපත් කිරීමට මාස හයක කාලයක් ලබා දෙන බවයි.

2011 දී සිදු කරන ලද ගවේෂණයකට අනුව, ඉන්දියාවේ කේන් සමාගම මන්නාරම් ද්‍රෝණියේ බැරැකුඩා සහ ඩොරාඩෝ හි ළිං දෙකක තෙල් සහ ස්වාභාවික ගෑස් නිධි සොයා ගෙන තිබිණ.

2021 අංක 21 දරන ඛනිජ තෙල් සම්පත් පනතේ සඳහන් වන්නේ තෙල් ගවේෂණය හා සංවර්ධනය අන්තර්ජාතික ටෙන්ඩර් ක්‍රියාවලියක් හරහා පමණක් සිදු කළ යුතු බවයි.

ශ්‍රී ලංකාවේ අක්වෙරළ කාවේරි, මන්නාරම, දකුණු ලංකාව සහ නැගෙනහිර ලංකාව යන උප ද්‍රෝණි හතරකින් සමන්විත වේ.

අතීතයේ කරන ලද ගවේෂණ මගින් මන්නාරම් ද්‍රෝණියේ ඛනිජ තෙල් පද්ධතිය ඔප්පු කර ඇත.

අන්තර්ජාතික ලංසු තැබීමේ ක්‍රියාවලිය පසුගිය මාසයේ දියත්කිරීමට සැලසුම් කර තිබූ බව නිලධාරියා පැවසීය.

නමුත් නීතිපති දෙපාර්තමේන්තුවට අදාළ ලියකියවිලි නිෂ්කාශනය කිරීම සඳහා තවත් කාලයක් අවශ්‍ය වූ නිසා එය ප්‍රමාද වී තිබේ.

මන්නාරම් ද්‍රෝණිය ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පිහිටා ඇත.

ක්‍රිටේසියස් යුගයේ අග භාගයේ සිට මුල් පැලියෝසීන යුගයේ ගිනිකඳු ක්‍රියාකාරකම් අතරතුර මෙවැනි විශාල ගිනිකඳු පාෂාණ ප්‍රමාණයක් නිර්මාණය වී තිබේ.

2011 දී ද්‍රෝණියේ උතුරු කොටසේ පිහිට ඇති බැරැකුඩා සහ ඩොරාඩෝ හි ඇති තෙල් නිධි ද මෙම ගිනිකඳු ක්‍රියාකාරකම් සමඟ සම්බන්ධ වේ.

එවැනි ගිනිකඳු ප්‍රදේශවල තෙල් සහ ගෑස් ගවේෂණය කිරීමේදී ප්‍රධාන අභියෝගයක් වන්නේ අවසාදිත පාෂාණවලට වඩා වෙනස් ලෙස භූ කම්පන තරංග සම්ප්‍රේෂණය කරන බාසල්ට් මගින් එම බාස්ල්ට් ස්ථරවලට යටින් ඇති පාෂාණ නිරූපණය කිරීමයි.

ඛනිජ තෙල් සංවර්ධන අධිකාරියේ වෙබ් අඩවියේ ප්‍රකාශයට පත් කරන ලද පර්යේෂණ පත්‍රිකාවකට අනුව, පවතින භූ කම්පන දත්ත නවීන ශිල්පීය ක්‍රම භාවිතයෙන් නැවත සැකසීම මගින් බාසල්ට්වලට යටින් පිහිටි අවසාදිත සහ ව්‍යුහයන්ගේ දෘශ්‍යතාව වැඩි දියුණු කර ඇත.