August 20, 2025

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානය අවට භීතියට පත්කරමින් ඥානරතන මාවතේ දී දෙනෝදාහක් දෙනා බලා සිටියදී පාතාල කුලී ඝාතකයන් දෙදෙනකු විසින් ටී 56 අවියකින් වෙඩි තබා ‘ප්‍රභූ’ නමැති පුද්ගලයකු ඝාතනය කර තවත් අයකුට (පාරේ ගිය අයකුට) බරපතළ තුවාල කර ඇත්තේ පාතාල කල්ලි නායක පලනි රිමෝෂන්ගේ මුදල් කොන්ත්‍රාත්තුවක් මත බව පොලිස් විමර්ශනවලින් හෙළි වී ඇත.

ඊයේ (19දා) උදෑසන 8.30ට පමණ එල්ල වූ මෙම ප්‍රහාරයේ ඉලක්කය වූ අයියප්පන් ප්‍රභූ නමැත්තා පාතාල නායකයකු වන පූකුඩුකන්නාගේ කල්ලියේ සමීපතමයකු බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.

පූකුඩුකන්නාගේ පාර්ශ්වය සහ පලනි රිමෝෂන්ගේ පාතාල කල්ලිය අතර කාලයක පටන් පවතින ආරවුලක් මෙම ප්‍රහාරයට හේතු වන්නට ඇති බවට පොලිසිය සැක පහළ කරයි.

මෙම ප්‍රහාරය සඳහා අවශ්‍ය කුලී වෙඩික්කරුවන් යොදවා එය මෙහෙයවා ඇත්තේ කංජිපානි ඉම්රාන් විසින් බව ද පොලිසිය හෙළි කරගෙන ඇත.

ප්‍රහාරයෙන් ඝාතනයට ලක්වූ ප්‍රභූ නමැත්තා 2022 වර්ෂයේදී වැල්ලේ සාරංගගේ මස්සිනා ඝාතනය කිරීම සඳහා ඔත්තු බැලූ බවට චෝදනා එල්ල වූ පුද්ගලයෙකි.

පොලිසිය පවසන්නේ ප්‍රභූ නමැත්තා මට්ටක්කුලිය, මෝදර, පෑලියගොඩ යන ප්‍රදේශවල මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත වී සිටින බවට තොරතුරු ලැබී ඇති බවයි. එහෙත් මත්ද්‍රව්‍ය ජාවාරම් සම්බන්ධයෙන් මොහු මීට පෙර කිසිම අවස්ථාවක පොලිසියට හසු වී නොමැති බව ද හෙළි වී ඇත.

මෝදර ප්‍රදේශයේ කසිප්පු ජාවාරම්කාරයකුගේ බිරිඳ සමග අනියම් සම්බන්ධයක් පවත්වාගෙන ගිය බව කියන සිද්ධියක් සම්බන්ධයෙන් ද මොහු මීට පෙර ප්‍රහාරයකට ලක්වී සිටි බව ද පොලිසිය පවසයි. එම ප්‍රහාරයේදී මොහු අස්ථි බිඳීමකට ලක්ව සිටි බව ද පොලිසිය සොයාගෙන ඇත.

පාතාල කුලී වෙඩික්කරුවන්ගේ ඉලක්කය බවට පත්ව සිටි ප්‍රභූ නමැත්තා පෑලියගොඩ මත්ස්‍ය වෙළෙද මධ්‍යස්ථානයේ වෙළෙඳසලක සේවය කරන 40 හැවිරිදි පුද්ගලයෙකි.

මොහු ඊයේ උදෑසන 8.30ට පමණ මත්ස්‍ය වෙළෙඳ මධ්‍යස්ථානය ඉදිරිපිට ඇති වෙළෙඳසලකින් ආහාර ගැනීමට පැමිණි අවස්ථාවේ කුලී වෙඩික්කරුවන්ගේ ප්‍රහාරයට ලක්විය.

යතුරුපැදියක පැමිණ ඇති කුලී වෙඩික්කරුවන් ටී 56 අවියක් යොදාගෙන ප්‍රභූ නමැත්තාට වෙඩි තබා ඇති අතර ඉන් ඔහුට බරපතළ තුවාල සිදුවිය. වෙඩි ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ මත්ස්‍ය වෙළෙඳ සංකීර්ණය ඉදිරිපිට මාර්ගයේ ගමන් කරමින් සිටි පෑලියගොඩ පදිංචිකරුවකු ද වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලබා ඇත.

මෙම ප්‍රහාරය එල්ල වන අවස්ථාවේ පෑලියගොඩ ප්‍රදේශයේ විදුලි විසන්ධියක් පැවතීම නිසා සීසීටීවී කැමරා අක්‍රිය වීමෙන් ප්‍රහාරයේ දර්ශන කිසිවක් ලබා ගැනීමට හැකි වී නැත.

තුවාලකරුවන් දෙදෙනා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමෙන් පසු ප්‍රභූ නමැත්තා ඊයේ දහවල් මියගිය බව රෝහලේ ආරංචිමාර්ග පැවසීය.

සිද්ධිය සැලවූ වහාම එම ස්ථානය වෙත ගිය පෑලියගොඩ අපරාධ කොට්ඨාසයේ අධ්‍යක්ෂ රොහාන් ඕලුගල සහ ප්‍රධාන පොලිස් පරීක්ෂක ලින්ටන් සිල්වා ඇතුළු නිලධාරීහු විමර්ශන ආරම්භ කළහ.

ප්‍රහාරය එල්ල වූ ස්ථානයේ තිබී ටී 56 උණ්ඩ හිස් කොපු කීපයක් පොලිසිය මගින් සොයාගෙන ඇත. පොලිසිය පවසන්නේ ප්‍රහාරයෙන් පසු කුලී ඝාතකයා එහි වැටී තිබූ ටී 56 හිස්කොපු කීපයක් රැගෙන ගොස් ඇති බවයි.(දිවයින)