August 24, 2025

කිසිදා නොවූ විරූ ලෙස මේ වසරේ මන්නාරමේ වෙරළ තීරය නැවතත් ප්ලාස්ටික්වලින් වැසී ගොස් ඇති බව ප්‍රදේශවාසීහු පවසති.

“අපි මුහුදට යන විට, ආදම්ගේ පාලමට යන දකුණු වෙරළ තීරය වැසී ගිහින්. සුළඟින් ගෙන එන ප්ලාස්ටික් දූවිලි වාතයේත් තිබෙනවා. නමුත් මෙවර එය දැඩියි.,” යනුවෙන් මන්නාරමේ සමාජ හා පරිසර ක්‍රියාකාරිකයෙකු වන සෙල්වරත්නම් ඩිලක්සන් පැවසීය.

තහවුරු කිරීම සඳහා මේ වන විට නිල දත්ත හෝ පර්යේෂණ නොමැති වුවද, කුණු කසළ ඉන්දියාවෙන් පැමිණෙන බව ප්‍රදේශවාසීහු අනුමාන කරති.

නිල අධ්‍යයනයන් නොමැති විට, ප්‍රජාවේ ආදායම් සහ පෝෂණය සඳහා වන ප්‍රධාන මූලාශ්‍ර වන භූගත ජලය සහ මසුන් කෙරෙහි මෙම ප්ලාස්ටික් දූෂණයේ බලපෑම තවමත් නොදන්නා බව ද ඩිලක්සන් සඳහන් කළේය.

සමුද්‍ර පරිසර ආරක්ෂණ අධිකාරිය (MEPA) ප්ලාස්ටික් පෙති හෝ ‘කෙඳි’ ඉවත් කිරීම සඳහා නිතිපතා පිරිසිදු කිරීම් සිදු කරමින් සිටියද, මෝසම් සුළං මගින් පැතිරෙන සියුම් ප්ලාස්ටික් දූවිලි වඩා දුෂ්කර වී ඇති බව ඩිලක්සන් සඳහන් කළේය.

මෙය නව ගැටළුවක් නොවන බව වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් මහාචාර්ය ටර්නි ප්‍රදීප් කුමාර පැවසීය.

නමුත් ප්ලාස්ටික් ‘දූවිලි’ පිළිබඳ විශ්වාසදායක දත්ත නොමැති බව ඔහු තවදුරටත් පැවසීය.

“සුදුසු සාම්පල ලබාගෙන අධ්‍යයනය නොකර මට එය තහවුරු කළ කරන්න බැහැ ” යනුවෙන් ඔහු පැවසීය.

මෙවැනි කටයුතු සම්බන්ධීකරණය කිරීම සඳහා සංවර්ධනය කරන ලද SACEP සහ SAS වැනි කලාපීය කසළ කළමනාකරණ රාමු බොහෝ දුරට භාවිතයට නොගෙන ඇති බව ඔහු සඳහන් කළේය.

“රටවල් ඔවුන්ගේ අභ්‍යන්තර අපද්‍රව්‍ය කළමනාකරණ ගැටළු විසඳන්නේ නැති තාක් කල්, ප්ලාස්ටික් සාගර ධාරා හරහා සංසරණය වෙනවා,” මහාචාර්ය කුමාර පැවසීය.

“දකුණු සහ අග්නිදිග ආසියාව පුරා ඇති ප්ලාස්ටික් අපට ලැබෙන බව දත්තවලින් පෙනී යනවා, නමුත් අපගේ ප්ලාස්ටික් මාලදිවයිනටත් යනවා, එඒ නිසා අපිත් ගැටලුවේ කොටසක්” යැයි ඔහු පැවසීය.

තනි භාවිත ප්ලාස්ටික් අඩු කිරීම, ධීවරයන් සමඟ ප්ලාස්ටික් විගණන පැවැත්වීම සහ විශාල නැවත භාවිත කළ හැකි බහාලුම් ප්‍රවර්ධනය කිරීම වැනි දේශීය උත්සාහයන් තිබියදීත්, ක්‍රියාත්මක කිරීමේදී එවැනි බොහෝ වැඩසටහන් අඩාල වේ.

“නියාමනය තිබෙනවා, නමුත් නිසි පාලන යාන්ත්‍රණ නොමැතිව ඒවා ඵලදායී නැහැ. බදු ක්‍රමය වගේ අපට හොඳින් ස්ථාපිත, වගකිවයුතු ව්‍යුහයක් අවශ්‍යයි. නිවැරදි ප්‍රතිපත්ති සහ ක්‍රියාමාර්ග නොමැතිව නව තාක්ෂණය නිෂ්ඵලයි.” යැයි ඔහු පැවසීය.

පරිසර අමාත්‍ය ධම්මික පටබැඳි පැවසුවේ ප්ලාස්ටික් සුන්බුන් වැඩිවීම මුලින්ම නිරීක්ෂණය වූයේ ප්‍රධාන නැව් සිදුවීම් දෙකකින් පසුව බවයි.

“බටහිර වෙරළ තීරයේ කුණු ගොඩක් දකින්න පටන් ගත්තා. අපි ඉන්දීය වෙරළාරක්ෂක බලකායට සහ නැව් සමාගමට කතා කළා. ඔවුන් හානි සහ වන්දි ගෙවීමට එකඟ වී තිබෙනවා, ඒ අනුව නීතිපති දෙපාර්තමේන්තුව අපට උපදෙස් දෙනවා. මන්නාරමේ සහ යාපනයේ පළාත් පාලන ආයතනවල සහාය ඇතිව MEPA එක පිරිසිදු කිරීම් සම්බන්ධීකරණය කරමින් සිටිනවා.” යැයි ඔහු පැවසීය.

මෝසම් ධාරා සමඟ, එක්ස්ප්‍රස් පර්ල් ව්‍යසනයේ කල් පවතින බලපෑම් නැවත මතුවිය හැකි බවත්, නව සුන්බුන් මගින් එය තවත් උග්‍ර විය හැකි බවත් අමාත්‍ය පටබැඳි සඳහන් කළේය.

“MEPA පනත සංශෝධනය කළ යුතුයි, අපි එය කිරීමේ ක්‍රියාවලියක යෙදී සිටින්නේ,” ඔහු පැවසීය.