May 5, 2025

ප්‍රමිතියෙන් තොර ඖෂධ වැඩි මිලට ලබාගැනීමේ පැරණි ක්‍රමවේදය වත්මන් ආණ්ඩුව තවදුරටත් ක්‍රියාත්මක කරමින් සිටින බවට පෙරටුගාමී සමාජවාදී පක්ෂය චෝදනා කරයි.

අද ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාවක් පිළිබඳ තොරතුරු අනාවරණ කරමින් ජනමාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් එම පක්ෂයේ අධ්‍යාපන ලේකම් පුබුදු ජයගොඩ මෙලෙස චෝදනා කළේය.

ඔහු එහිදී ඔහු පැවසුවේ, රෝහල් ඖෂධ ප්‍රසම්පාදනය සම්බන්ධයෙන් නැවතත් ක්‍රියාත්මක වන්නේ පැරණි ක්‍රියාපටිපාටියම බවයි.

”ඖෂධ ටෙන්ඩර් ක්‍රියාවලිය ප්‍රමාදයි. නියමිත වේලාවට ඇණවුම් ලබානොදෙන නිසා කෘත්‍රිම හිඟයක් ඇති කරනවා. ඊට පස්සේ වැඩි මිලට හදිසි මිලදී ගැනීම් සිදුකරනවා. ඒවායෙන් බොහෝමයක් බාල ඖෂධ” යනුවෙන් එහිදී පුබුදු ජයගොඩ පැවැසීය.

මෙම ආණ්ඩුව බලයට පත්වූයේ මෙම වංචා සිදුනොකරන බවට පොරොන්දු වෙමින් බව පැවසූ ඔහු චෝදනා කළේ, දැන් පවතින ගැටළුව වන්නේ ඔවුන් එකම දූෂිත ක්‍රමයම වෙනත් ලේබලයක් යටතේ නැවත සිදුකරන්නේද යන්න බවයි.

“සෞඛ්‍ය අමාත්‍ය නලින්ද ජයතිස්ස අද කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිත කැබිනට් පත්‍රිකාවක් පිළිබඳව අපට තොරතුරු ලැබී තිබෙනවා. 2025 මාර්තු 29 දිනැති විගණන වාර්තාවට අනුව ඉදිරි මාස තුන තුළ (ජූනි මාසය දක්වා) අත්‍යවශ්‍ය ඖෂධ 313 ක හිඟයකට මුහුණදෙන බවත්, මෙම ඖෂධවලින් 202ක් සාමාන්‍ය ක්‍රමවලින් ලබාගත හැකි බවත් ඇමැතිවරයා කැබිනට් මණ්ඩලයට පැවසීමට සූදානම් වනවා. ඉතිරි ඖෂධ 101 සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යවරයා කැබිනට් පත්‍රිකාවේ 2.3 සහ 2.4 වගන්තිවලට අනුව සම්මත ප්‍රසම්පාදන ක්‍රියා පටිපාටි මඟහැර රජයෙන් රජයට සිදුකෙරෙන ගනුදෙනු හරහා ඒවා ලබාගැනීමට යෝජනා කරනවා කියලත් වාර්තා වෙනවා.”

නව ප්‍රසම්පාදන ක්‍රමවේදය සැකසීමට සහ ඖෂධ ප්‍රසම්පාදනය සඳහා සැපයුම් රටවල් තෝරාගැනීම විදේශ කටයුතු අමාත්‍යාංශයට පැවරීමට හත්දෙනෙකුගෙන් යුත් කමිටුවක් පත්කිරීමට අමාත්‍යවර‍යා යෝජනා කරන බව ද පුබුදු ජයගොඩ එම ජනමාධ්‍ය හමුවේදී පැවැසීය.

එමෙන්ම මෙවැනි ගනුදෙනු සඳහා රජය දැන් භාවිත කරන සාධාරණීකරණය වන්නේ ‘ඖෂධ හිඟය’ යන වගන්තිය බවද ඔහු පෙන්වාදුන්නේය.

”මෙම හිඟය මුලින්ම ඇතිවුණේ කොහොමද? 2024 අගෝස්තුවේ රනිල් වික්‍රමසිංහ රජය යටතේ එවකට සෞඛ්‍ය අමාත්‍ය රමේෂ් පතිරණ විසින් දැනට පවතින ඖෂධ සැපයුම්කරුවන් වෙනුවට හිතවත් වෙළෙන්දන් පිරිසක් පත්කිරීමට උත්සාහ කළා. ඊට විශාල විරෝධයක් එල්ල වූ විට අමාත්‍යාංශය දැනට සිටින සැපයුම්කරුවන්ට සහ යෝජිත නව සැපයුම්කරුවන්ට නියෝග නිකුත් කිරීම නතර කළා” යනුවෙන් ද පුබුදු ජයගොඩ සිහිපත් කළේය.