
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
දිත්වා සුළි කුණාටුවෙන් මෙරටට ඇති වූ සමස්ත බලපෑම පිළිබඳ පුළුල් තක්සේරුවක් කිරීම සඳහා ලෝක බැංකුවේ කණ්ඩායමක් ඇතුළු විදෙස් කණ්ඩායම් කිහිපයක් ඉදිරි දිනවලදී ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය.
ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ අධ්‍යක්ෂ ජනරාල් විශ්‍රාමික මේජර් ජෙනරාල් සම්පත් කොටුවේගොඩ පැවසුවේ මුදල් අමාත්‍යාංශය රටේ නැවත ගොඩනැගීමේ ක්‍රියාවලියේ ප්‍රමුඛ කාර්යභාරයක් ඉටු කරන අතර ආපදා හානිය සහ සමස්ත බලපෑම තක්සේරු කිරීමේදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය ක්‍රියාකාරීව නියැලී සිටින බවයි.
කඩිනම් තක්සේරු කිරීම් දැනටමත් සිදුකර ඇති බවත්, ලෝක බැංකුව, තවත් අන්තර්ජාතික සංවිධාන කිහිපයක් සමඟ, ඊළඟ අදියරේ තක්සේරු කිරීම්වලදී ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ සහයෝගයෙන් කටයුතු කරන බවත් ඔහු පැවසීය.
“මෙම ඒකාබද්ධ තක්සේරු කිරීම් හරහා, හානියේ ප්‍රමාණය සහ පිරිවැය හඳුනා ගන්න පුළුවන්, ඒ මත පදනම්ව ආපදාවල බලපෑම අවම කර රට නැවත ගොඩනැගීම සඳහා සැලසුම් සකස් කරනවා. නව තාක්ෂණය භාවිතයෙන්, මෙම තක්සේරු කිරීම් සති දෙක තුනක් ඇතුළත අවසන් කළ හැකියි,” ඔහු පැවසීය.
මේජර් ජෙනරාල් කොටුවේගොඩ පැවසුවේ, ව්‍යසනයකින් සති දෙකක් ඇතුළත හානිය, පාඩු සහ ජීවිත හානි පිළිබඳ මූලික ඇස්තමේන්තු ලබා ගැනීමට පහැකි නවතම ලෝක බැංකු තක්සේරු මෙවලම වන GRADE (ගෝලීය වේගවත් හානි ඇස්තමේන්තුව) භාවිත කිරීමට ශ්‍රී ලංකාව සැලසුම් කර ඇති බවයි.
“මෙම ක්‍රමවේදය චන්ද්‍රිකා ඡායාරූප, සංගණන දත්ත සහ සමාජ මාධ්‍යවලින් ලබාගත් තොරතුරු සමඟ ඒකාබද්ධ කර වේගවත් හා පුළුල් තක්සේරු කිරීම් සිදු කරනවා,” අධ්‍යක්ෂ ජනරාල්වරයා පැවසීය.
ඉදිරි සතිය තුළ ලෝක බැංකු කණ්ඩායමක් ශ්‍රී ලංකාවට පැමිණීමට අපේක්ෂා කරන අතර, තවත් විදෙස් සංවිධාන කිහිපයක් ද තක්සේරු ක්‍රියාවලියට එක්වනු ඇතැයි දැනගන්නට ලැබේ.
ජාතික නැවත ගොඩනැගීමේ වැඩසටහන වේගවත් කිරීම සඳහා ඒකාබද්ධ අන්තර්ජාතික උත්සාහයක් ලෙස මෙම තක්සේරු කිරීම් සිදුකිරීම සඳහා ශ්‍රී ලංකාව ලෝක බැංකුව ඇතුළු බහු සංවිධාන සමඟ හවුල් වනු ඇත.
මේ අතර, ඇතැම් විදේශීය විශේෂඥ කණ්ඩායම් දැනටමත් ශ්‍රී ලංකාවට පැමිණ ඇත.
ඉතාලි රජය යුරෝපීය සංගමය හරහා සාමාජිකයන් හත් දෙනෙකුගෙන් යුත් විශේෂඥ කණ්ඩායමක් යොමුකර තිබේ.
එහි කටයුතු ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය විසින් සම්බන්ධීකරණය කරනු ලැබේ.
එම කණ්ඩායම ඊයේ පේරාදෙණිය දුම්රිය පාලම පරීක්ෂා කළ අතර තාක්ෂණික තක්සේරුවක් සහ විශේෂඥ නිර්දේශ ඉදිරිපත් කිරීමට අපේක්ෂා කෙරේ.
මෙම කණ්ඩායම රට තුළ රැඳී සිටින කාලය තුළ අනෙකුත් හානියට පත් පාලම් සහ මාර්ග ජාල ද සමීක්ෂණය කරනු ඇත.
ජර්මනිය සහ ස්විට්සර්ලන්තය ද සාමාජිකයන් හත් දෙනෙකුගෙන් සමන්විත ජල පිරිපහදු සහ සනීපාරක්ෂක කණ්ඩායම් යොදවා ඇත.
තක්සේරු ක්‍රියාවලියට සහාය වීම සඳහා උසස් තාක්‍ෂණයෙන් සන්නද්ධ තවත් විදේශීය කණ්ඩායම් පැමිණෙමින් සිටිති.
මේ අතර, යුරෝපා සංගමය ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය සමඟ කටයුතු සම්බන්ධීකරණය කිරීම, හදිසි අවශ්‍යතා හඳුනා ගැනීම සහ යුරෝපා සංගමය හරහා ආධාර සැපයීම සඳහා නියෝජිතයකු පත් කර ඇත.
නියෝජිතයා ඊයේ උදෑසන ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ කාර්යාලයට පැමිණියේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart