
Subscribe
Don't miss the latest news and updates.
Don't miss the latest news and updates.
Type and hit enter
ජර්මනියේ පැවැත්වෙන 26 වැනි IKA සූපශාස්ත්‍ර ඔලිම්පික් ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලාංකික සම්භවයක් ඇති සූපවේදී සමීර මධුශංක දහනායක ජයග්‍රහණ කිහිපයක්ම අත්කර ගෙන තිබේ.
සමීර මීට පෙර විවිධ තරඟවලදී ජයග්‍රහණ 30ක් ලබාගෙන ඇති අතර ජර්මනියේ IKA සූපශාස්ත්‍ර ඔලිම්පික් තරඟාවලියේ ජයග්‍රහණය වඩාත් කැපීපෙනෙන එකක් වේ.
එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කණ්ඩායම නියෝජනය කරමින් සහභාගී වූ මෙම ශ්‍රී ලාංකිකයා තරඟාවලියේදී පේස්ට්‍රි සහ සූපශාස්ත්‍ර යන අංශ දෙකෙහිම විනිසුරුවන් විශ්මයට පත්කිරීමට සමත් විය.
ඔහු ලුණු ආශ්‍රිත කැටයම් තරගයෙන් රන් පදක්කම් දෙකක් සහ සීනි ආශ්‍රිත කැටයම්වලින් රන් පදක්කම් දෙකක් ලබා ගත්තේ සිය සුවිශේෂී දක්ෂතා පෙන්වමිනි.
ඊට අමතරව එක්සත් අරාබි එමීර් රාජ්‍යයේ ජාතික කණ්ඩායම ඔවුන්ගේ සූපශාස්ත්‍ර දස්කම් ඉස්මතු කරමින් රිදී පදක්කම් 27ක් ලබා ගැනීමට සමත් විය.
Mister Bakerහි ශ්‍රී ලාංකික සූපවේදී සමීර මධුශංක ඔහුගේ ලුණු කැටයම් දෙක නම් කළේ ‘The lost city of dragon riders’ සහ ‘Together one dream’ යනුවෙනි.
සීනි කැටයම ‘The Emperor’ ලෙස නම් කර තිබූ අතර ඉන් දැක්වුණේ තේජාන්විත සිංහාසනය මත වාඩි වී සිටින පාලකයකුය.
තරඟයට සහභාගීවීමට සහ ඔහුගේ කැටයම් නිර්මාණ කිරීමට සමීරට වැඩි වේලාවක් වැඩ කිරීමට සිදුවී තිබිණි.
“මේ කලා කෘති හදන්න මට මාස හයකට වැඩි කාලයක් ගතවුණා. මම මගේ රාජකාරී වේලාවට පෙර සහ පසුව තරඟය සඳහා මේ නිර්මාණ වැඩකළා” සමීර පැවසීය.
“සීනි කලාත්මක නිර්මාණ සඳහා මට සීනි කුඩුකර වෙනත් ද්‍රව්‍ය එකතු කර අවශ්‍ය හැඩය අනුව දැඩි කිරීමට සිදුවුණා. සම්පූර්ණ ව්‍යුහය ගොඩනැගීමෙන් පසු එය වැලි කඩදාසියකින් හැඩගස්වා සුමට කළා, ”සමීර පැවසීය.
කෙසේවෙතත්, සංකීර්ණ ලුණු නිර්මාණ සඳහා සීනි කලාත්මක නිර්මාණවලට වඩා බොහෝ කාලයක් ඔහුට ගත වී තිබේ.
“ලුණු කලාත්මක නිර්මාණ සඳහා ලුණු කැට කුඩු කරලා, බඩ ඉරිඟු පිටි, වතුර සහ අනෙකුත් ද්‍රව්‍ය මිශ්‍ර කරලා, කැමති හැඩයක් දීලා, හැමදාම බලන්න වුණා” සමීර කීවේය.
එය වසර හතරකට වැඩි කාලයක් සංරක්ෂණය කළ හැකි බව ඔහු කියයි.
මෙම තරගයට රටවල් 70කින් සූපවේදීන් 1500ක් පමණ සහභාගි වූ අතර, ජෙරාඩ් මෙන්ඩිස් සහ උවේ මයිකල් වැනි කීර්තිමත් සූපවේදීන් ඇතුළු අන්තර්ජාතික විශේෂඥයන් 60කට අධික සංඛ්‍යාවකින් යුත් මණ්ඩලයකින් ඔවුන් අධීක්ෂණය කර තිබිණි.
මීට වසර හයකට පෙර සමීර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට ගොස් ස්ථාන කිහිපයක සේවයකර තිබේ.
ඔහු දැනට මිස්ටර් බේකර්හි කේක් සැරසිලිකරුවකු ලෙස සේවය කරයි.
“මම සූපශාස්ත්‍ර කලාවේ මගේ ගමන ආරම්භ කළේ 2015දී. මම මීට වසර 6කට පෙර එක්සත් අරාබි එමීර් රාජ්‍යයට පැමිණියා. එතැන් සිට එය මගේ දෙවැනි නිවස බවට පත් වුණා. මෙහි පදිංචිව සිටින මට ඉහළ පෙළේ තරගවලට සහභාගි වීමට ප්‍රමාණවත් අවස්ථා ලැබී තිබෙනවා,” යනුවෙන් ඔහු ප්‍රකාශ කළේය.
Adding {{itemName}} to cart
Added {{itemName}} to cart