May 21, 2025

රටේ විදුලි බල අර්බුදය සහ විදුලිය ගාස්තු සම්බන්ධයෙන් කරුණු විමසමින් එක්සත් ජාතික පක්ෂයේ ජාතික ලේකම් සහ පාර්ලිමේන්තු මන්ත්‍රී රවී කරුණානායක පාර්ලිමේන්තු මහ ලේකම්වරයා වෙත විශේෂ ලිපියක් යොමු කර තිබේ.

එම ලිපියේ පහත කරුණු අඩංගු වේ.

2025 පෙබරවාරි 9 වන දින රට පුරා විදුලිය බිඳ වැටීමක් ඇතිවිය. ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම බිඳ වැටීම සඳහා හේතුව ලෙස අධික සූර්ය බලශක්ති දායකත්වය හේතුකොට පද්ධතියේ ඇතිවූ අඩු අභ්‍යන්තර ශක්ති තත්ත්වය පෙන්වා දෙන ලදි.
ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද 2025 පෙබරවාරි 9 දිවයින පුරා සිදු වූ විදුලි බිඳ වැටීම පිළිබඳ විශේෂඥ කමිටු වාර්තාවේ අන්තර්ගත සොයා ගැනීම් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කරනු ලැබ ඇත.

• ලංකා විදුලිබල මණ්ඩලයේ වාර්තාව සවිස්තරාත්මක නොවන බවත්, පරීක්ෂණ ප්‍රමිතීන්ට අනුකූල නොවන බවත් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සඳහන් කරන ලදි.

• 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පනතේ 18 වන වගන්තිය උපුටා දක්වමින්, නව, ස්වාධීන පරීක්ෂණයක් දියත් කිරීම සඳහා මහජනතාව හමුවේ කරුණු විභාගයක් පැවැත්වීමට කොමිෂන් සභාව තීරණය කරන බව නිවේදනය කරන ලදී.

• ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව අවසාන නිගමනයන්ට එළඹීමට පෙර අදාළ සියලුම පාර්ශ්වයන් කැඳවා ස්වාධීනව සාක්ෂි පරීක්ෂා කිරීමට අදහස් කරයි. නැවතත් අප්‍රේල් මස සිංහල අලුත් අවුරුදු සමයේදී, ලංකා විදුලිබල මණ්ඩලය සහ අනෙකුත් අධිකාරීන් විසින්, පෙරදී ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ප්‍රතික්ෂේප කරන ලද 2025 පෙබරවාරි 9 වන දින විදුලි බිඳ වැටීම සඳහා දක්වන ලද හේතුවම ඉදිරිපත් කරමින් ගෘහස්ථ වහල මත සවිකරන සූර්ය විදුලිය ජනනය නතර කිරීමෙන් දේශීය වහල මත සවි කරන සූර්ය විදුලිබල ජනනය අධෛර්යමත් කරන ලදී.

මෙම ප්‍රවාදයට පටහැනිව යමින්, ප්‍රතිපත්ති අසංගතභාවයක් සහ පුනර්ජනනීය බලශක්ති අංශයේ දේශීය ව්‍යවසායකයින් ආන්තිකකරණයකට ලක් කිරීමේ තත්ත්වයක්ද විදහා දක්වමින් ශ්‍රී ලංකාව මේවන විට අප්‍රේල් 29 වන දින පුවත්පත්වල සඳහන් වූ අමාත්‍ය මණ්ඩල තීරණයකට අනුව මෙගාවොට් 152ක සූර්ය බලශක්තිය සඳහා ජාත්‍යන්තර මිල ගණන් භාර ගනිමින් සිටී.
මෙම පරස්පරය මගින් ප්‍රතිපත්තිමය ගැටලු කිහිපයක් ඉස්මතු කරනු ලබයි:

1. අස්ථාවරත්වයට සූර්ය බලශක්තිය කෙරෙහි දොස් පවරන අතරම එය ව්‍යාප්ත කරමින් එමගින් ආයෝජකයින්ට සහ මහජනයාට මිශ්‍ර සංඥා ලබාදෙනු ලබයි. එමගින් අවිනිශ්චිතභාවයක් ඇති කරමින් දේශීය හා ජාත්‍යන්තර යන දෙඅංශයේම ආයෝජන අධෛර්යමත් කළ හැකිය.

2. අකාර්යක්ෂම ජාල කළමනාකරණය හා එයට එදිරිව සූර්ය බලශක්තියට දොස් පැවරීම – ප්‍රශ්නය වඩාත් ජාල නවීකරණය අප්‍රමාණවත් වීම (උදා: බැටරි ගබඩා කිරීම, සුහුරු ඉන්වර්ටර හෝ නම්‍යශීලී මූලික පැටවුම් නොමැතිකම) පිළිබඳව මිස සූර්ය බලශක්තිය පිළිබඳව වූවක් නොවන බව පෙනේ

3. කප්පාදුව සහ ප්‍රතිපත්තිමය පක්ෂපාතීත්වය – වහල මත සවිකරන සූර්ය බලශක්ති පරිශීලකයින්ගෙන් උච්ච සූර්ය තාප කාලවලදී ප්‍රතිදානයන් හෙවත් බලශක්ති නිමැවුම් අඩු කරන ලෙස ඉල්ලා සිටීම මගින් පෙන්නුම් කෙරෙන පරිදි පද්ධති සැලසුම්කරණය ජාතික පුනර්ජනනීය ඉලක්ක සමඟ පෙළගැසී නොමැත.

4. ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් සිදුකරන ලද ප්‍රතික්ෂේප කිරීම තුළ මෙකරුණ තවදුරටත් ශක්තිමත් කෙරේ – ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් ලංකා විදුලිබල මණ්ඩලයේ සොයාගැනීම් ප්‍රතික්ෂේප කර ඇති හෙයින්, ප්‍රතිපත්ති සම්පාදකයින්ට සූර්ය බලශක්තියට දොස් පැවරීම අභියෝගයට ලක් කරමින් ඒ වෙනුවට වඩා යහපත් පද්ධති ඒකාබද්ධ කිරීමේ පිළිවෙත් ක්‍රියාත්මක කරන ලෙස ඉල්ලා සිටිය හැකිය.

කථානායකතුමනි, ඉහත සඳහන් කරුණු සැලකිල්ලට ගනිමින්, ස්ථාවර නියෝග 27(2) යටතේ ගරු විදුලිබල හා බලශක්ති අමාත්‍යතුමා වෙත පහත සඳහන් හදිසි ප්‍රශ්න ඉස්මතු කිරීමට ඔබගේ අවසරය පතමි.

1. කෙටි කාලීන විදුලි ජනනයේදී ලංකා විදුලිබල මණ්ඩලය තවදුරටත් මිල අධික තාප විදුලි ජනනය මත බෙහෙවින් රඳා පවතින්නේද? 2024 ජනන පිරිවැය හරහා ජල, ගල් අඟුරු, තාප, සූර්ය, සුළං විදුලි ඒකකයක ජනන පිරිවැය සඳහන් කරන්න.

2. පුනර්ජනනීය බලශක්තිය තාපය මගින් ජනනය කරන ලද විදුලියට වඩා බෙහෙවින් ලාභදායී නොවේද? පුනර්ජනනීය බලශක්තිය ශ්‍රී ලංකාවේ දුර්ලභ විදේශ විනිමයට බලපෑමක් ඇති නොකරන අතර එය ලංකා විදුලිබල මණ්ඩලය හරහා රට ඉදිරියට ගෙන යාමේ මාර්ගයක් ලෙස පිළිගන්නේද?

3. ලං.වි.ම. ආශ්‍රිත ජාල අසාර්ථකත්වයට හේතුව ලෙස සූර්ය බලශක්තියට දොස් පවරන්නේ නම්, සාපේක්ෂව කුඩා ව්‍යාපෘති වන ස්ථාන 18ක මෙගාවොට් 152ක සූර්ය බල ශක්තිය ප්‍රමාණයක් සඳහා ජාත්‍යන්තර මිල ගණන් කැඳවීමට රජය දැන් කටයුතු කරන්නේ කුමන පදනමකින්ද?

4. ශ්‍රී ලාංකික ව්‍යවසායකයින්, සූර්ය කුඩා හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ දේශීය බලශක්ති සමූපකාර ව්‍යාපාරයන් විසින් දේශීය මූල්‍යකරණය සහ තාක්ෂණය උපයෝගයෙන් එවැනි ධාරිතාවයන් සැපයීම සාර්ථකව සිදුකර ඇති බව බොහෝ අවස්ථාවල ඔප්පු වී ඇති තත්ත්වයක ඔවුනට ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර තරඟකරුවන් සමඟ තරඟ කළයුතු තත්ත්වයක් නිර්මාණය කරනුයේ මන්ද?

5. ශ්‍රී ලාංකික සූර්ය විදුලි සැපයුම්කරුවන්ට සාධාරණ වෙළඳපොළ ප්‍රවේශයක් සහතික කිරීමට සහ දේශීය ව්‍යවසායකයින්ට පහසුවෙන් සපුරාලිය හැකි ධාරිතාවන් සඳහා විදේශීය-ආධිපත්‍ය සහිත ප්‍රසම්පාදනයන් කරා යොමුවීමේ තත්ත්වය වැළැක්වීම සඳහා හඳුන්වා දෙනු ලබන හදිසි ප්‍රතිසංස්කරණ කවරේද?

6. ලංකා විදුලිබල මණ්ඩලයට සහ රජයට ව්‍යාපෘතියකට මෙගාවොට් 100කට වැඩි සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති (සූර්ය, සුළං, මිනි, ජල, ජෛව වායු) ව්‍යාපෘති සඳහා ජාත්‍යන්තර තරඟකරුවන් සම්බන්ධ කර ගන්නා ප්‍රතිපත්තියක් සකස් කර ගත නොහැක්කේ මන්ද? කුඩා සම්ප්‍රදායික නොවන පුනර්ජනනීය බලශක්ති ව්‍යාපෘති විදේශ ආයෝජකයින් සතු වුවහොත් ලාභාංශ අනවශ්‍ය ලෙස ශ්‍රී ලංකාවෙන් පිටතට යාම වැළැක්වීමට මෙය උපකාරී වනු ඇත.

7. ද්‍රවීකෘත ස්වභාවික වායු පිළිබඳ තත්ත්වය කුමක්ද? ශ්‍රී ලංකාවට ද්‍රවීකෘත ස්වභාවික වායු ආනයනය කරනු ලබන්නේ කවදාද? ටෙන්ඩර් කැඳවා තිබේද? එසේ නොමැති නම්, එය ආරම්භ වන්නේ කවදාද? ද්‍රවීකෘත ස්වභාවික වායු බෙදා හැරීම සැලසුම් කිරීමකින් තොරව නව ජනන බලාගාර අනුමත කොට ඉදිකරමින් පවතී.

8. රජය විසින් අනුමත කරන ලද ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ පිරිවැය පිළිබිඹු කරන ප්‍රතිපත්තිය හා මාස 02කට පෙර අඩු කරන ලද ලංකා විදුලිබල මණ්ඩල ගාස්තු අනුපාත හේතුවෙන් ලංකා විදුලිබල මණ්ඩලය විසින් විදුලි මිල ඉහළ නැංවීමට යන්නේද? එය ඉහළ නංවන්නේද? එසේ නම්, ඒ කවදාද සහ කොපමණද?