July 31, 2025

ලයිබීරියානු ධජය සහිත බහාලුම් ප්‍රවාහන නෞකාවක් ඉන්දියාවේ කේරල ප්‍රාන්තයට ඔබ්බෙන් වූ මුහුදු සීමාවේදී අනතුරට පත්වීමෙන් මෙරට සමුද්‍ර පද්ධතියට එල්ල වී ඇති බලපෑම සඳහා වන්දි ඉල්ලා සිටීම වෙනුවෙන් මෙරට සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරිය අනෙකුත් පාර්ශවකරුවන් සමඟ එක්ව කටයුතු කරමින් සිටින බව වාර්තා වේ.

මෙම නෞකාව මැයි 25 වන දින කේරළයේ කොචි වෙරළට ඔබ්බෙන් ගිලීයෑමත් සමඟ ඉන්දියාවේ කේරළ සහ තමිල්නාඩු වෙරළ තීර ඔස්සේ පාරිසරික අර්බුදයක් ඇති විය.

එමෙන්ම අනතුරේ ප්‍රතිපලයක් ලෙස මෙරට උතුරු වෙරළ තීරයෙන් ද නෞකාවේ තිබූ ප්ලාස්ටික් කොටස් සොයාගෙන තිබිණි.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සමුද්‍රීය පරිසර ආරක්ෂණ අධිකාරි‍යේ සභාපති සමන්ත ගුණසේකර ජනමාධ්‍ය වෙත පවසා ඇත්තේ, නෞකා අනතුරින් ගොඩබිමට ගසාගෙන එන ප්ලාස්ටික් කොටස් එක් රැස්කිරීම අඛණ්ඩව සිදුකරන බවයි.

මෙම ව්‍යසනයෙන් ශ්‍රී ලංකාවේ සමුද්‍ර පරිසරයට සිදු වූ හානිය සඳහා රක්ෂණ හිමිකම් ඉදිරිපත් කිරීමේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව සාකච්ඡා කිරීම සඳහා තම කාර්යාලය, අදාළ නැව් සමාගමේ නියෝජිතයන්, එහි දේශීය නියෝජිත සහ ජාතික ජලජ සම්පත් පර්යේෂණ හා සංවර්ධන නියෝජිතායතනය (NARA) සමඟ එක්ව සාකච්ඡා කළ බව ද ඔහු පවසා ඇත..

එමෙන්ම ඔහු පවසා ඇත්තේ, යාපනය, කල්පිටිය සහ ඩෙල්ෆ් ප්‍රදේශයේ වෙරළට ගොඩගසා තිබූ ප්ලාස්ටික් කොටස් සොයාගෙන ඇති බව සහ රක්ෂණ හිමිකම් පෑම සඳහා පාරිසරික හානිය තක්සේරු කිරීමට ඒවා එක්රැස් කිරීම අඛණ්ඩව සිදුකරන බවයි.

කෙසේවෙතත් එම අනතුරෙන් පසුව මෙරට මුහුදු සීමාවේ තෙල් තට්ටුවක් නිරීක්ෂණය වූ බවට පළවන වාර්තා ඔහු ප්‍රතික්ෂේප කරයි.

හානිය තක්සේරු කිරීම සඳහා විනිවිද පෙනෙන නිර්ණායකයකට අනුව කටයුතු කරන බවත්, එම කටයුතු විනිවිදභාවයෙන් සහ වගවීමකින් යුතුව සිදුකරන බව ද ඔහු වැඩිදුරටත් පවසා ඇත.