July 26, 2025

තායිලන්තය සමඟ දින දෙකක දේශසීමා සටන්වලින් පසුව කාම්බෝජය විසින් වහාම සටන් විරාමයක් ඉල්ලා තිබේ.

එක්සත් ජාතීන්ගේ කාම්බෝජ තානාපති චීයා කියෝ පැවසුවේ ආරවුලට සාමකාමී විසඳුමක් අවශ්‍ය බැවින් තම රට ‘කොන්දේසි විරහිතව’ සටන් විරාමයක් ඉල්ලා සිටින බවයි.

සටන් විරාම යෝජනාව පිළිබඳ තායිලන්තය ප්‍රසිද්ධියේ අදහස් දක්වා නැත.

ඔවුන් මීට පෙර කාම්බෝජයට මායිම්ව ඇති දිස්ත්‍රික්ක අටක යුද නීතිය ප්‍රකාශයට පත් කළේය.

බ්‍රහස්පතින්දා පළමු වෙඩි තැබීම සම්බන්ධයෙන් දෙරටම එකිනෙකාට චෝදනා කරන අතර අවම වශයෙන් දෙරටේම පුද්ගලයන් 16 දෙනෙකු මිය ගොස් දස දහස් ගණනක් අවතැන් වී ඇත.

තායිලන්තයේ වැඩබලන අගමැති ෆුම්තම් වෙචයාචායි ඊයේ අනතුරු ඇඟවූයේ ගැටුම් යුද්ධයක් කරා ගමන් කළ හැකි බවයි.

සටනට මේ වනවිට බර අවි ඇතුළත් වන අතර දේශසීමාවේ ස්ථාන 12කට සටන පැතිරී ඇති බව ඔහු පැවසීය.

කාම්බෝජය සිවිල් ප්‍රදේශවලට වෙඩි තැබූ බවට තායිලන්තය ද චෝදනා කළ අතර ඔවුන්ගේ රොකට් අරය තුළ ඇති බව සැළකෙන සියලුම ගම්මාන ඉවත් කිරීමට කටයුතු කළේය.

කාම්බෝජය චෝදනා කළේ තායිලන්තය පොකුරු බෝම්බ භාවිතා කරන බවටයි.

පොකුරු බෝම්බ ලෝකයේ බොහෝ රටවල තහනම් කර ඇත්තේ සිවිල් ජනතාවට විචක්ෂණශීලී බලපෑමක් ඇති කරන බැවිනි.

තායිලන්තය චෝදනාවලට ප්‍රතිචාර දක්වා නොමැත.

මේ අතර, ගෝලීය නායකයන් විසින් වහාම සටන් විරාමයක් ඉල්ලා සිටියද, ගැටුමේදී තෙවැනි පාර්ශවීය මැදිහත්වීමක් සඳහා අවශ්‍යතාවක් නොමැති බව තායිලන්ත විදේශ අමාත්‍යවරයා රොයිටර්ස් පුවත් සේවයට පැවසීය.

අග්නිදිග ආසියානු ජාතීන්ගේ සංගමයේ (ආසියාන්) සභාපතිත්වය දරන මැලේසියානු අගමැති අන්වර් ඉබ්‍රාහිම්, දෙරට අතර සාකච්ඡා සඳහා පහසුකම් සැලසීමට මීට පෙර ඉදිරිපත් විය.

එක්සත් ජනපදය ද ඉල්ලා සිටියේ සතුරුකම් වහාම නතර කිරීම, සිවිල් වැසියන් ආරක්ෂා කිරීම සහ ගැටුම සාමකාමීව විසඳීම සඳහා කටයුතු කරන ලෙසයි.

තායිලන්තය පවසන්නේ සුරින්, උබොන් රට්චතානි සහ ශ්‍රීසකෙට් පළාත්වල සිවිල් වැසියන් 14 දෙනෙකු සහ එක් සොල්දාදුවකු මිය ගොස් ඇති බවයි.

ගැටුම් ආරම්භ වූයේ කාම්බෝජයේ හමුදාව දේශසීමාව අසල තායි හමුදා නිරීක්ෂණය කිරීම සඳහා ඩ්‍රෝන යානා යෙදවීමෙන් බව තායිලන්තය පවසයි.

කාම්බෝජය පවසන්නේ තායි සොල්දාදුවන් දේශසීමාව අසල කෙමර්-හින්දු කෝවිලක් ඉදිරියට ගෙන යෑමෙන් පෙර තිබූ ගිවිසුමක් උල්ලංඝනය කිරීම නිසා ගැටුම ආරම්භ වූ බවයි.

දෙරට අතර ආරවුල වසර 100කට වැඩි කාලයක සිට පැවත එන්නකි.

වසර ගණනාවක් පුරා වරින් වර දෙරට අතර ගැටුම් ඇති වී ඇති අතර එමඟින් දෙපාර්ශ්වයේම සොල්දාදුවන් සහ සිවිල් වැසියන් මිය ගොස් තිබේ.

මැයි මාසයේදී කාම්බෝජ සොල්දාදුවකු ගැටුමකින් මිය යෑමෙන් පසු නවතම ආතතීන් උත්සන්න විය.