July 4, 2025

‘ප්‍රජා ශක්ති’ ජාතික වැඩසටහන අද (4) ආරම්භ කිරීමට නියමිතය.

ජනාධිපති අනුර කුමාර දිසානකගේ ප්‍රධානත්වයෙන් මෙම වැඩසටහන අද පස්වරුවේ අරලියගහ මන්දිරයේදී නිල වශයෙන් දියත්කෙරේ.

මෙරට දිළිඳු බව දුරැලීම සඳහා එමඟින් ගන්නා ක්‍රියාමාර්ග සහ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැඟීමට එයින් දෙන දායකත්වය ආදිය පිළිබඳ ප්‍රජා ශක්ති මෙහෙයුම් කමිටුවේ ලේකම් සහ කැඳවුම්කරු, ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් (සංවර්ධන-පරිපාලන) කපිල ජනක බණ්ඩාර දැක්වූ අදහස් ඇසුරින් මෙම ලිපිය සකසා ඇත.

‘ප්‍රජා ශක්ති යනු තවත් සුබසාධන වැඩපිළිවෙළක් ද එසේත් නැතහොත් එහි අන්තර්ගතය සහ ඉකුත් ආණ්ඩු කාලවලදී පැවති මෙවැනි වැඩසටහන් අතර ඇති වෙනස්කම් මොනවාද යන්න සලකා බැලීම මූලිකව කළ යුතුය. සැබැවින්ම ආණ්ඩුවේ මූලික ප්‍රතිපත්තිය බවට පත්ව තිබෙන්නේ “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” යන්නයි. ඒ සඳහා රට තුළ ජනවරමක් ද ලැබී තිබේ. ප්‍රජාශක්ති වැඩපිළිවෙළ යනු එය යථාර්ථයක් බවට පත් කර ගැනීම සඳහා ගෙන එනු ලබන වැඩපිළිවෙළකි. එය ස්ථාපිත කිරීම සඳහා වැඩසටහන් තුනක් ක්‍රියාත්මක කිරීමට නියමිතය. ඒ අතරින් රටත් සමාජයත් පොහොසත් වීම මූලික අංගයකි. එහෙත් ආර්ථිකය වර්ධනය වූ පමණින් රටක් දියුණු වන්නේ නැත. ඒ ආර්ථික ප්‍රතිලාභ සියලු ජන කණ්ඩායම් වෙත ළඟා කර ගැනීමට හැකියාව ඇති කළ යුතුය. එහිදී ආර්ථික ක්‍රියාවලිය ගම දක්වා තල්ලු කරගෙනයෑම මෙන්ම ඒ සඳහා ගමේ දායකත්වය ලබා ගැනීම ද කළ යුතුය. මෙහිදී ගමේ සියල්ලන්ටම ආර්ථිකය වෙත දායකත්වය ලබා දීමට හැකියාවක් නැත. එහිදී රැකවරණය සැලසිය යුතු පිරිසක් සිටිති. ඔවුන් හඳුනා ගැනීම සහ රැකවරණය දීම ද කළ යුතුය. ආර්ථික සාධාරණත්වය ද මේ වැඩසටහනට අදාළය. ප්‍රජාව සවිබලගැන්වීම මෙම වැඩසටහනේම එක් අංගයකි. ‘ප්‍රජා ශක්ති’ යනු මෙම සියලු අංග ඇතුළත් වැඩසටහනයි. ජාතිය සවිබලගැන්වීම ප්‍රජා ශක්ති වැඩසටහනේ ප්‍රධාන අංගයකි.

එමෙන්ම “පොහොසත් රටක් සහ ලස්සන ජීවිතයක්” පිළිබඳ ද සාකච්ඡා කළ යුතුය. ලස්සන ජීවිතයක් ගොඩනඟා ගැනීම සඳහා කොටස් දෙකක් පිළිබඳ අවධානය යොමු කළ යුතුය. එහිදී පරිසරය ලස්සන වීමත් ජීවත් වීම සඳහා සුවපහසු තැනක් බවට පත් කිරීමත් කළ යුතුය. එහෙත් පරිසරය සුන්දර කිරීම සහ ජීවිතය ලස්සන කිරීම යන සංයෝගය මඟින් මෙම වැඩසටහන පූර්ණත්වයට පත්වේ.

ප්‍රජා ශක්ති වැඩසටහන සඳහා උපායමාර්ගික ප්‍රවේශයක් ගතහොත් පරිපූර්ණ ජීවිතයක්, නවීන ජීවිතයක්, අභිමානවත් ජීවිතයක්, සුවපහසු රටක්, ආරක්ෂිත රටක්, ධනවත් ජාතියක්, නොසැලෙන රටක් යන්න ද ඊට අයත්ය. මෙහිදී සුවපහසු රටක්, ආරක්ෂිත රටක්, ධනවත් ජාතියක්, නොසැලෙන රටක් යන අංග ගොඩනැඟීම රජය සතු වගකීමකි. කෙනෙකුට පරිපූර්ණ ජීවිතයක් ගොඩනැඟීම සඳහා ධනවත් රටක්, පරිපූර්ණ ජීවිතයක් ගොඩනැඟීම සඳහා මේ කරුණු අවශ්‍ය වේ.

එහෙත් පරිසරය ලස්සන වූ පමණින්ම රටක් ධනවත් වන්නේ නැත. “ක්ලීන් ශ්‍රී ලංකා” වැඩසටහන “පොහොසත් රටක් ලස්සන ජීවිතයක්” ගොඩනැඟීම සඳහා මූලික පදනම සහිත වැඩසටහනකි.

ඒ අනුව මෙය වර්තමානය තුළ නඩත්තු කරගෙනයෑමට හැකියාවක් තිබේ. එහෙත් එසේ නඩත්තු කළ පමණින් රටක් ඉදිරියට ගමන් කරන්නේ නැත. එසේම, ජාතික ජන බලවේගය රජය වෙත ජනතාව වරමක් දී තිබෙන්නේ සුපුරුදු රටාව තුළ රට පුරුදු ක්‍රමයට නඩත්තු කරගෙන යෑමට නොවේ. අලුත් මාර්ගයක් , නව ක්‍රමවේදයක් වෙත රට යොමු කිරීම සඳහාය.

ඒ අනුව අද ආරම්භ කරනු ලබන ප්‍රජා ශක්ති වැඩසටහන මඟින් සිදු කරනු ලබන මූලික කරුණ වන්නේ ඔසවා තබන ලද ආර්ථිකයේ ප්‍රතිලාභ සමස්තය වෙත ලබා දීමට හැකි වටපිටාවක් නිර්මාණය කිරීමය. වැඩිදියුණු වන ආර්ථිකයට දායකත්වය දී එහි ප්‍රතිලාභ තවදුරටත් ජනතාව වෙත ලබා දීම ප්‍රජා ශක්ති වැඩසටහනේ මූලික අංගයකි.

දරිද්‍රතාව

මේ අනුව ඉකුත් කාලයේ තිබූ සමාජ සුබසාධන වැඩසටහන් සහ අභිනව ප්‍රජා ශක්ති වැඩසටහන අතර වෙනස්කම් මොනවාද යන්න කෙනෙකුට ප්‍රශ්න කළ හැකිය. ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක වන්නේ හුදු දරිද්‍රතාව නැති කිරීමට පමණක් නොවේ. බහුමානික දරිද්‍රතාව හඳුනාගෙන එය දුරැලීම ද මෙයින් අපේක්ෂිතය.

එසේම, ලෝකයේ දරිද්‍රතාව පිළිබඳ කතාබහ කරද්දි කෙනෙකු සෞඛ්‍ය අතින් දිළිඳු ද අධ්‍යාපනය අතින් දිළිඳු ද යන්න සලකා බැලිය යුතුය. මෙම තත්ත්වයන් ජයගන්නේ නම් අපට දරිද්‍රතාව නම් කවුළුවෙන් පිටතට ඒමට හොඳ ප්‍රවේශයක් ලෙස සඳහන් කළ හැකිය. අධ්‍යාපනය යනු තිරසර ලෙස දුප්පත්කමෙන් පිටතට පැමිණීමට හොඳ අවස්ථාවකි. අප රටේ දිළිඳු බවින් පිටතට පැමිණි බොහෝ අය ඒ සඳහා උපයෝගී කරගෙන ඇත්තේ අධ්‍යාපනයයි. විනෝදාස්වාදය, රසවින්දනය ඇතුළු බහුමාධ්‍ය කරුණු නිසි ලෙස ජයගෙන තිබේනම් බහුමානික දිළිඳුකමින් පිටතට පැමිණීමට හැකියාව තිබේ. එහෙත් මෙතෙක් කල් පැවති වැඩසටහන්වලින් මහජන අවශ්‍යතා නියෝජනයක් සිදු වූයේ ද යන්න සලකා බැලුවහොත් ලබා දිය හැකි උත්තරය බවට පත්වන්නේ නැත යන්නය.

මෙහිදී මුලින්ම කළ යුතු දෙයක් වන්නේ කෙනෙකු දිළිඳු බව දුරු කර ගැනීම සඳහා අවශ්‍ය වන්නේ කුමක්ද යන්න සලකා බැලීමය. එහිදී දිළිඳුකම යන සාධකය ජය ගැනීම සඳහා පුද්ගලයකු හෝ පුද්ගල කණ්ඩායමක් අපේක්ෂා කරන දේ එකින් එකට වෙනස්ය. ඒ සඳහා එක් උදාහරණයක් දැක්විය හැකිය. කලෙකට ඉහතදී එක් ඈත ගමකින් ඉදිරිපත් කෙරුණු බලවත් ඉල්ලීමක් වූයේ එම ගමට යන මාර්ගය ප්‍රතිසංස්කරණය කර දෙන ලෙසය. එහි ඇත්ත නැත්ත බැලීමට අප ගිය අතර එහිදී අපට අත්දැකීමට ලැබුණේ නගරයේ සිට කිලෝ මීටර් කිහිපයක් දුර මෙම ගම්මානයට යෑමට පැය ගණනාවක කාලයක් ගත වන බවය. කෘෂි ගම්මානයක් වන මෙහි නිෂ්පාදන නගරයට වෙත ගෙන ඒමට ගතවන අධික කාලය සහ දුෂ්කරතාව නිසා තමන්ගේ කෘෂිකර්ම නිෂ්පාදනවලට නිසි වෙළෙඳපොළක් ඇති කර ගැනීමට නොහැකි බවය.

සැබවින්ම එහි දිළිඳුකමට හේතුවක් බවට පත්ව තිබුණේ මාර්ගයේ පැවති දුෂ්කර සහ අබලන් ස්වභාවයයි. එනිසා එම ගම දරිද්‍රතාවයෙන් මුදාගැනීම සඳහා කළ යුතුව තිබුණේ නිසි මාර්ග පහසුකම් සකසා දීමය. එම ගම්මානයේ ජනතාව වෙත අස්වැසුම හෝ සමෘද්ධිය ලබා දුන් පමණින් දුප්පත්කමින් මිදෙන්නේ නැත. එනිසා කළ යුතුව තිබෙන්නේ දුප්පත්කමට හේතු සොයා විසඳුම් ලබා දීම මිස සැමට එකම විසඳුම ලබා දීම නොවේ.

දරිද්‍රතාවට හේතු වූ විවිධ කරුණු විවිධ ප්‍රදේශවල තිබිය හැකිය. ඒවා සොයා බලා විසඳුම් ලබා දීම බහුමානීය දරිද්‍රතාව නැති කිරීම සඳහා ප්‍රමුඛ කරුණකි. දරිද්‍රතාව දුරු කිරීම සඳහා වූ වැඩසටහන්වලදී මූලික ලෙස බැලිය යුත්තේ දරිද්‍රතාවට හේතුව හඳුනා ගැනීමය. ඉකුත් කාලයේදී පැවති දිළිඳුකම පිටුදැකීමේ බොහෝ වැඩසටහන්වල තිබූ එක් අංගයක් වූයේ සහන ලබා ගන්නා පිරිස් එක් එක් ප්‍රජා සේවා වෙත යොමුව වැඩකළ යුතු වීමය. එසේ යෙදවීමට හේතු වූයේ නිකම්ම දෙයක් ලබා ගන්නවා නම් වැඩක් කළ යුතුය යන සමාජ සම්මතයක් පැවතීමය. එහෙත් මෙම කාර්යය නිසා දිළිඳුබව, දරිද්‍රතාව නැති වීමක් සිදු වන්නේ නැත.

දිළිඳුකම නැති කිරීම සඳහා වූ පසුගිය වැඩසටහන් නිසි ඉලක්ක හෝ අරමුණු නැතිව පවත්වාගෙන යන්නේ යැයි මෙමඟින් තහවුරු කර ගැනීමට පුළුවන. පාරවල් කැපීම, රොන්මඩ ඉවත් කිරීම වැනි ප්‍රජා කාර්යය සහ දරිද්‍රතාව නැති කිරීම අතර විද්‍යාත්මක පසුබිමක් හෝ සම්බන්ධතාවක් නැත.

මේ අනුව දැන් කළ යුතුව තිබෙන්නේ දරිද්‍රතාව දුරැලීමේ වැඩසටහන් සඳහා මහජන සහභාගිත්වය ලබා ගැනීමය. මහජන සහභාගිත්වය තුළින් සහ තමන් මෙම වැඩසටහන් වෙත දායක වන්නේ ඇයි ද යන්න පිළිබඳ ද දැනුම්වත්භාවයක් තිබිය යුතුය. ප්‍රජා ශක්ති වැඩපිළිවෙළ තුළ මූලික හරය බවට පත්ව තිබෙන්නේ අවබෝධාත්මක මහජන සහභාගිත්වය යන කරුණයි. මෙහිදී මහජනතාව දරිද්‍රතාව දුරු කිරීම සඳහා පොලඹවාලීම සිදු කරනු ලබයි.

මෙම වැඩසටහන තනි තනිව එක් එක් අංශ සමඟ කටයුතු කරනු ලබන වැඩසටහනක් නොවේ. සාමූහික ප්‍රයත්නයකි. ඒ සඳහා අමාත්‍යාංශ රැසක් එක්ව තිබේ. එසේ නොමැතිව කටයුතු කිරීම් පෙර සාර්ථක වූයේ නැත. ඒ සඳහා එක් උදාහරණයක් මෙසේ සඳහන් කළ හැකිය.

ගොවි ජනතාවගේ දිළිඳුකම නැති කිරීම සඳහා බඩඉරිඟු වගා ව්‍යාපෘතියක් ඇති කරනු ලැබිණි. එහි අරමුණ වූයේ ගොවියාගේ දිළිඳු බව නැති කිරීමයි. එහිදී කෘෂිකර්ම අමාත්‍යාංශය ඉතා හොඳින් බඩඉරිඟු බීජ ලබා දී, අවශ්‍ය උපදෙස් ලබා දී සාර්ථක අස්වැන්නක් ලබා ගැනීමය. එහෙත් මෙම අස්වැන්න වෙළෙඳපොළට යවන්නේ කෙසේද? සරු අස්වැන්න මුදල් බවට පත් කර ගන්නේ කෙසේද? යන්න ගැන ඔවුනට සැලසුමක් නැත. එහි ප්‍රතිඵලය වන්නේ මෙම වැඩසටහන අසාර්ථක එකක් බවට පත්වීමයි. එමඟින් පොහොසත් වන්නේ අතරමැදි පිරිස වන අතර ගොවියාට සිදුවන යහපතක් නැත.

ඒ අනුව සත්‍ය ලෙසම අමාත්‍යාංශ තනි තනිව වැඩ කර දරිද්‍රතාව ජයගත නොහැකිය. ඊට කළ යුතුව තිබෙන්නේ සාමූහික ලෙස සැලසුම්සහගතව විසඳුම් සෙවීමය. ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක වන්නේ එම මූලධර්මය පදනම් කරගෙනය.

අද වනවිට අස්වැසුම ප්‍රතිලාභී පවුල් දාහත් ලක්ෂයකට ආසන්නය. අභියාචනා මඟින් තවත් ලක්ෂ දහයකට ආසන්න පවුල් ප්‍රමාණයකට ද ලබා දෙන ලදි. ඒ අනුව මුළු පවුල් ප්‍රමාණය පවුල් විසිහත් ලක්ෂයකට වැඩිය. මෙරට මුළු පවුල් ප්‍රමාණය ලක්ෂ පනස් පහකි. මෙහිදී මෙරට පවුල් ප්‍රමාණයෙන් 50%ක් පමණ අස්වැසුම ප්‍රතිලාභ ලබා ගනියි. මෙමඟින් පැහැදිලිවන එක් කරුණක් වන්නේ සැබෑ අවශ්‍යතාව හඳුනාගෙන නොමැති බවය. ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කරන විටදී පෙර වැඩසටහන්වල තිබෙන මෙම දුර්වලතා හඳුනාගෙන ඒ අනුව කටයුතු කිරීමය.

මහජන අවශ්‍යතා

තවද, පෙර පැවති වැඩසටහන්වල තිබූ ප්‍රධානම දුබලතා මෙසේ සඳහන් කළ හැකිය. මහජන අවශ්‍යතා නියෝජනය නොවීම, මහජන සහභාගිත්වය අවම වීම, අමාත්‍යංශ වශයෙන් වෙන්වෙන්ව වැඩ කිරීම, ප්‍රදේශ ලෙස වෙන්වෙන්ව වැඩසටහන් ක්‍රියාත්මක වීම, සැබෑ අවශ්‍යතා ඇති පිරිස් හඳුනා නොගැනීම, ජාතික ප්‍රතිපත්තියක් මත සැලසුම් නොකර දේශපාලන අවශ්‍යතා අනුව කටයුතු කිරීම, දැනුම්වත් නිලධාරීන්ගේ ඌණතාව, ප්‍රතිපත්ති සම්පාදනය සඳහා දත්ත තොරතුරුවල අසංවිධානාත්මක බව යන කරුණු ඇතුළත්ය.

ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක කිරීම තුළ නිසි ලෙස ක්‍රියාත්මක කිරීමට නිසි ව්‍යුහයක් ද නිර්මාණය කර තිබේ. එය ජාතික මට්ටමේ සිට ග්‍රාමීය මට්ටම දක්වා විහිදේ. ඒ අනුව, ජාතික ප්‍රතිපත්ති සභාව, ප්‍රජාශක්ති මෙහෙයුම් කමිටුව/ ප්‍රජා ශක්ති ලේකම් කාර්යාලය, අමාත්‍යාංශ, දිස්ත්‍රික් සම්බන්ධීකරණ කමිටුව, ප්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුව සහ ප්‍රජා සංවර්ධන සභාව එම ව්‍යුහයන්ය.

මහජන සභභාගිත්වය, නිසි අධීක්ෂණය යන කරුණු අනුව ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක වන අතර එසේ හඳුනාගනු ලබන අංශ වෙත මෙම වැඩසටහන මඟින් දායකත්වය ලබා දේ. නව අදහස්, නව ක්‍රමවේද සහ විද්‍යාත්මක ක්‍රම අනුගමනය කිරීම ප්‍රජා ශක්ති වැඩසටහන මඟින් සිදු කරනු ලබයි.

එසේම, මෙම වැඩසටහන මඟින් දැනට ක්‍රියාත්මක වනු ලබන සුබසාධන වැඩසටහන් කිසිවකට බලපෑමක් සිදු නොකරන අතර සියලු අංශ වෙත නිසි අධීක්ෂණය සහිත පහළ සිට ඉහළ දක්වා පසුවිපරම් සහ අධීක්ෂණය කරනු ලබයි. ඒ අනුව, ප්‍රජා ශක්ති වැඩසටහන ක්‍රියාත්මක වීම තුළ මෙරට දරිද්‍රතාව නිසි ලෙස විසඳුම් සොයන සහ ඒ විසඳුම් වෙත අවශ්‍ය මඟපෙන්වන වැඩසටහනක් ලෙස සඳහන් කළ හැකිය.