May 26, 2025

ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ඉලක්ක කරගත් විවිධ ව්‍යාජ ප්‍රවෘත්ති හරහා රජය කඩාකප්පල් කිරීමට උත්සාහ කරන බව සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ පවසයි.

ජනමාධ්‍ය අමතමින් නියෝජ්‍ය අමාත්‍ය රණසිංහ පැවසුවේ, වැලිගම සහ අරුගම්බේ ප්‍රදේශ සම්බන්ධ මෑතකදී සමාජ මාධ්‍යවල පුළුල් ලෙස සංසරණය වූ විශේෂිත සිදුවීම් දෙකක් හරහා මෙය පැහැදිලි වන බවයි.

“පළමු අවස්ථාව වූයේ වැලිගමදී පිලිපීන ජාතිකයෙකුට පහර දෙන වීඩියෝවක්. මෙය 2024 දී සිදු වූ සිදුවීමක් බව පරීක්ෂණවලින් සොයාගෙන තිබෙනවා. දෙවනුව, අරුගම්බේ ප්‍රදේශයේ පොදු ස්ථානවල බිකිනි ඇඳීමෙන් වළකින ලෙස සංචාරකයින්ගෙන් ඉල්ලා සිටින දැන්වීමක් නිකුත් කර තිබෙනවා. මෙය ප්‍රදේශයේ වාර්ගික ආතතියක් ඇති කිරීමට දරන උත්සාහයක් බව ද පෙනෙනවා” ඔහු පැවසීය.

කොළඹ මහනගර සභාව ඇතුළු ප්‍රධාන පළාත් පාලන ආයතනවල පාලනය ස්ථාපිත කිරීම සඳහා රජය මුස්ලිම් ප්‍රජාව සමඟ කටයුතු කරන අවස්ථාවක අරුගම්බේ පිළිබඳ දැන්වීම නිකුත් කර ඇති බව නියෝජ්‍ය අමාත්‍ය රණසිංහ සඳහන් කරයි.

“මේ සම්බන්ධයෙන් අපි ආරුගම්බේ මුස්ලිම් ප්‍රජාවෙන් විමසීමක් කළා. ඔවුන් ප්‍රසිද්ධියේ නිරුවත් පුද්ගලයෙක් ඇවිද යන සිද්ධියක් වාර්තා කළ අතර, ඔවුන් එයට විරුද්ධ වුණා. රජය තම බලය ශක්තිමත් කරගැනීමට කටයුතු කරන නිසා, ප්‍රදේශයේ ගැටළු ඇතිකිරීම සඳහා කිසියම් පිරිසක් හෝ කණ්ඩායමක් විසින් මෙය යටි අරමුණක් ඇතිව සිදු කරන ලද සිදුවීමක් බවට ද අපි සැකකරනවා,” ඔහු පැවසීය.

මෙම සිදුවීම් වාර්ගික ආතතීන් ඇතිකිරීමට සහ ජාතිය සංවර්ධනය කිරීමට දරන උත්සාහයන් කඩාකප්පල් කිරීමට ඇතැමුන් දරන උත්සාහයන් ලෙස රජය සලකන බව නියෝජ්‍ය අමාත්‍ය රණසිංහ පෙන්වාදෙයි.

සංචාරක කර්මාන්තය ඉලක්ක කර ගනිමින් ආර්ථිකයට හානි කිරීමට උත්සාහ කරන ඕනෑම පුද්ගලයකුට හෝ කණ්ඩායමකට එරෙහිව දැඩි නීතිමය පියවර ගන්නා බවට ඔහු අනතුරු අඟවයි.

එවැනි ව්‍යාජ ප්‍රවෘත්තිවලට ගොදුරු නොවන ලෙස සංචාරක නියෝජ්‍ය අමාත්‍යවරයා මහජනතාවගෙන් තවදුරටත් ඉල්ලා සිටියි.