May 17, 2025

උතුරු හා නැගෙනහිර ප්‍රදේශවල පවත්වනු ලබන අනුස්මරණ උත්සව සම්බන්ධයෙන් ගනු ලබන නීතිමය විධිවිධාන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ 3 වන වගන්තිය අඛණ්ඩව අනිසි ලෙස භාවිත කරමින් සිදුකිරීම පිළිබඳ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම බරපතළ කණස්සල්ල පළ කර තිබේ.

1996 අංක 21 දරන ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභා පනතේ 10(d) වගන්තිය යටතේ ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම සිය වරම නැවත අවධාරණය කළ බව එහි මාධ්‍ය ප්‍රකාශක සහ පර්යේෂණ සහ අධීක්ෂණ අංශයේ අධ්‍යක්ෂ නිහාල් චන්ද්‍රසිරි පවසයි.

විරෝධතා ඇතුළු සාමකාමී අනුස්මරණ උත්සවවලට සහභාගී වන පුද්ගලයන් ප්‍රචණ්ඩත්වයට පෙළඹවීම වැළැක්වීමේ මුවාවෙන් අත්අඩංගුවට ගැනීම සම්බන්ධයෙන් 2024 මැයි මාසයේදී වැඩබලන පොලිස්පතිවරයාගට පෙර සිටි නිලධාරියාට ද ඒ හා සමාන කණස්සල්ලක් දැනුම් දී ඇති බව කොමිසම සිහිපත් කළේය.

2009 දී සන්නද්ධ ගැටුමේදී මියගිය දෙමළ සිවිල් වැසියන් සැමරීම වෙනුවෙන් කෙරෙන මෙම අනුස්මරණ ක්‍රියාවන් වැරදි ලෙස අපරාධකරණය කර ඇති බව ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම පෙන්වා දුන්නේය.

“2007 අංක 56 දරන සිවිල් සහ දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික සම්මුති පනතේ (ICCPR පනත) 3 වැනි වගන්තිය වැරදි ලෙස භාවිත කිරීම සම්බන්ධයෙන් කොමිසම කණස්සල්ලට පත්ව සිටි අතර, සාමකාමී විරෝධතා පැවැත්වීම ඇතුළු සාමකාමී අනුස්මරණ ක්‍රියාවන්හි නියැලෙන පුද්ගලයන් අත්අඩංගුවට ගැනීම සඳහා එය වැරදි ලෙස භාවිත කිරීම පිළිබඳ කොමිසම කණස්සල්ලට පත්ව සිටියි,” යනුවෙන් එම ප්‍රකාශයේ සඳහන් විය.

අපරාධ නඩු විධාන සංග්‍රහයේ 106(1) වගන්තිය යටතේ එවැනි සිදුවීම් නැවැත්වීම සඳහා පොලිසිය තාවකාලික අධිකරණ නියෝග ඉල්ලා සිටින බවට වාර්තා ද කොමිසම ඉස්මතු කළේය.

සාමකාමී ප්‍රකාශනයේ අයිතිය නැවත තහවුරු කරමින් අධිකරණය විසින් මෙම අයදුම්පත් කිහිපයක් ප්‍රතික්ෂේප කරන ලද බව එහි සඳහන් විය.

පුරවැසියන්ට ලබා දී ඇති ව්‍යවස්ථාමය ආරක්ෂාවන් අවධාරණය කරමින්, “සාමකාමී අනුස්මරණ ක්‍රියාවන් වෙනස්කම් කිරීම, සතුරුකම හෝ ප්‍රචණ්ඩත්වයට පෙළඹවීමේ ආකාරයන් ලෙස සැළකිව නොහැකි අතර, ශ්‍රී ලංකා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 14(1)(අ) වගන්තිය යටතේ සහතික කර ඇති භාෂණයේ සහ ප්‍රකාශනයේ නිදහසට ඇති අයිතිය යටතේ ඒවා ආරක්ෂා කර ඇත,” යනුවෙන් ද එහි දක්වා ඇත.

තවද, ICCPR පනත අනිසි ලෙස භාවිත කිරීම හිරිහැරයට හා අසාධාරණ ඇප ප්‍රතික්ෂේප කිරීමට හේතු විය හැකි බවත්, එය ව්‍යවස්ථාපිත අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් බවත් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසම අනතුරු ඇඟවීය.

මෙම ගැටලු සැළකිල්ලට ගනිමින්, කොමිසම වැඩබලන පොලිස්පතිවරයාට නිර්දේශ කිහිපයක් ඉදිරිපත් කර ඇත.

සාමකාමී සැමරුම් නීත්‍යනුකූල සහ ආරක්ෂිත ක්‍රියාකාරකමක් ලෙස පිළිගනිමින් පොලිසියේ සියලුම අංශවලට භාෂා තුනෙන්ම පැහැදිලි මඟ පෙන්වීමක් නිකුත් කරන ලෙස කොමිසම ඉල්ලා සිටියේය.

පරිපාලන අංශ භාර නිලධාරීන්ට ඕනෑම සාමකාමී සැමරුම් ක්‍රියාවක් වැළැක්වීම සඳහා අධිකරණ නියෝග ලබා ගැනීමෙන් වළකින ලෙස ද කොමිසම තවදුරටත් ඉල්ලා සිටියේය.

2024 නොවැම්බර් මාසයේ දී අලුතින් තේරී පත් වූ රජය විසින් සාමකාමී සැමරුම් උත්සවවලට බාධා නොකරන බවට දුන් පොරොන්දුවක් සැළකිල්ලට ගනිමින් මානව හිමිකම් කොමිසමේ මැදිහත්වීම සිදු වේ.