May 3, 2025

වනජීවී දත්තවලට අනුව, අලි – මිනිස් ගැටුමට අදාළ ජීවිත හා දේපළ විනාශය වසර පහක් පුරා අඛණ්ඩව සිදුවෙමින් පවතී.

විදුලි සැර වැදීම අලි ඇතුන් මියයෑමට ප්‍රධානතම හේතුව බවට පත්ව ඇත.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, 2020 සහ 2021 දී වැඩිම අලි සංඛ්‍යාව මිය ගොස් ඇත්තේ ‘හක්කා පටස් ’ සහ වෙඩි තැබීම් හේතුවෙනි.

2022 සිට පසුගිය අප්‍රේල් 9 දක්වා ද බොහෝ අලි ඇතුන් වෙඩි තැබීම් සහ විදුලි සැර වැදීම් හේතුවෙන් මිය ගොස් ඇත.

විදුලි සැර වැදීම නිතර සිදුවන ප්‍රධානතම සාධකය ලෙස මතු වූ අතර, 2020 දී සිදුවීම් 31ක් වාර්තා වී 2023 වන විට එය 72 දක්වා ඉහළගොස් තිබිණි.

2025 පළමු කාර්තුවේදී තවත් සිද්ධීන් 18ක් වාර්තා විය.

2024 දී එම සංඛ්‍යාව 72 සිට 56 දක්වා අඩුවීමක් දක්නට ලැබිණි.

වෙඩි තැබීම සහ විදුලි සැර වැද්දවීම වැනි මිනිස් ක්‍රියාකාරකම් මෙම සියලුම අලි මරණවලින් අඩකට ආසන්න ප්‍රමාණයකට හේතු වේ.

විෂ ලබාදීම සහ දුම්රියේ ගැටීම ද අලි මරණ සඳහා තවදුරටත් දායක වන සාධකය.

එසේම, 2020 සිට 2021 දක්වා කාලයට සාපේක්ෂව, ඉදිරි වසර තුන තුළ දුම්රිය අනතුරුවලින් සිදුවන මරණ ඉහළ ගොස් ඇත.

මෙය ඉලක්කගත මැදිහත්වීම්, අධි අවදානම් සහිත කොරිඩෝවල විදුලි වැටවල් සහ දුම්රිය හරස් මාර්ග පද්ධති වැඩිදියුණු කිරීම සහ ප්‍රජා සහභාගීත්වයේ අවශ්‍යතාව පෙන්නුම් කරයි.

සෑම වසරකම මරණ 100 සිට 115 දක්වා ගණනක් මෙම වර්ගීකරණයට ඇතුළත් නොකෙරේ.

වනජීවී දෙපාර්තමේන්තුවට අනුව, ඒවා ස්වාභාවික මරණ විය හැකිය.

සාමාන්‍යයෙන්, වනාන්තරයෙන් දිරාපත් වූ මළකඳක් සොයාගත් විට, පශ්චාත් මරණ පරීක්ෂණයකින් හේතුව හඳුනා ගැනීමට ක්‍රමයක් නොමැත.

මේ අතර අලි – මිනිස් ගැටුමින් 2020 සිට 2025 දක්වා, වැඩිම මිනිසුන් සංඛ්‍යාවක් මිය ගියේ අනුරාධපුරයේ වන අතර දෙවැනි ඉහළම අගය පොළොන්නරුවෙන් වාර්තා වී තිබේ.

මෙයින් පිළිබිඹු වන්නේ එවැනි බොහෝ මරණ උතුරු මැද පළාතේ සිදු වූ බවයි.

2020 සිට 2025 මුල් භාගය දක්වා, නැගෙනහිර පළාතේ, විශේෂයෙන් අම්පාර දිස්ත්‍රික්කයේ, මරණ 82ක් වාර්තා වී ඇති අතර, මඩකලපුවෙන් ද ප්‍රමාණාත්මක මරණ සංඛ්‍යාවක් වාර්තා වී ඇත.

ඌව පළාතේ, විශේෂයෙන් මොනරාගල දිස්ත්‍රික්කයේ ද සැළකිව යුතු මරණ සංඛ්‍යාවක් සිදු වේ.

උතුරු පළාතේ සාපේක්ෂව මරණ අනුපාතය අඩුය.

ඊට හේතුව දිස්ත්‍රික්ක කිහිපයක අලි ප්‍රහාර වඩාත් ඵලදායී අවම කිරීමේ පියවරයන් ගෙන ඇති බවයි.

උතුරු මැද පළාතේ දේපළ හානි ඉහළ මට්ටමක පවතී.

අනුරාධපුරයේ, 2020 සිට 2024 දක්වා දේපළ හානි පිළිවෙළින් 165 සිට 1,029 දක්වා විශාල ලෙස ඉහළ ගොස් ඇත.

පොළොන්නරුවේ, 2020 දී 542 සිට 2024 දී 509 දක්වා සුළු අඩුවීමක් දක්නට ලැබේ.

දිවයින පුරා දේපළ හානි 2020 දී 2,223 සිට 2024 දී 3,759 දක්වා ඉහළ ගොස් තිබේ.

IUCN ආසියානු අලි විශේෂඥ කණ්ඩායමේ සාමාජික ආචාර්ය එස්. විජයමෝහන්ට අනුව, මහවැලි කලාපයේ පොළොන්නරුව වැඩිම අලි ඇතුන් සංඛ්‍යාවක් සිටින ප්‍රදේශයකි.

අනුරාධපුරයේ ද අලි සංඛ්‍යාව ඉහළය.

“අලි ඇතුන් සංඛ්‍යාවත් ඉහළයි, වගා බිම් ප්‍රමාණයත් ඉහළයි, මෙය මාරාන්තික සමීකරණයක්, ඒ නිසා ගැටුම් අනුපාතයත් ඉහළයි,” ආචාර්ය විජේමෝහන් පැවසීය.