March 6, 2025

මෙරට තුළ වන අලි ගහණය සහ අලි මරණ සංඛ්‍යාව සැළකිව යුතු ලෙස ඉහළ යමින් ඇති පසුබිමක් තුළ නොසැළකිලිමත් සංචාරක ක්‍රියාකාරකම් මෙම අලි ඇතුන්ට තර්ජනයක් වන අතර ඔවුන්ගේ ස්වාභාවික වාසස්ථාන විනාශ කර දමන බවට පරිසරවේදීහු චෝදනා කරති.

විශේෂයෙන් දඹුල්ල, හබරණ, මින්නේරිය, සීගිරිය, කවුඩුල්ල වැනි ප්‍රදේශවලට සංචාරකයන් නොසැළකිලිමත් ලෙස වන අලි නැරඹීමට රැගෙන යෑමේ සිදුවීම් ඔවුහු ඒ සඳහා උදාහරණ ලෙස දක්වති.

සෆාරි ජීප් රථ සහ අනෙකුත් වාහන නිතර අනතුරුදායක ලෙස අලි ඇතුන් අසල නවතා, ඔවුන්ගේ ස්වාභාවික වාසයට බාධාකරන අතර, කාර්යබහුල මාර්ගවල අවහිරතා ඇති කරයි.

එවැනි මාර්ගවල රිය ධාවනය කරන අනෙකුත් රියදුරන් චෝදනා කරන්නේ, මෙම අනතුරුදායක ක්‍රියා සම්බන්ධයෙන් දිගින් දිගටම පැමිණිලි කළද බලධාරීන් ඒ සඳහා නිසි පියවර නොගන්නා බවයි.

ඒ අනුව, බොහෝ පිරිස් වනජීවී සංරක්‍ෂණ දෙපාර්තමේන්තුව සහ පොලිසිය ඇතුළු බලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ සදාචාර විරෝධී සෆාරි ක්‍රියාකාරකම් සහ අලි මරණවලට තුඩුදෙන ක්‍රියාකාරකම්වලට එරෙහිව දැඩි පියවර ගන්නා ලෙසයි.

කෙසේවෙතත්, නිලධාරීන්ගේ හිඟය හේතුවෙන් එවැනි නීති බලාත්මක කිරීම අභියෝගයක් ලෙස පවතී.

හබරණ අඩවි වන නිලධාරී බී.ඒ.කේ.සී. බමුණුසිංහ ජනමාධ්‍ය වෙත පෙන්වාදෙන පරිදි, සෆාරි ක්‍රියාකරුවන් සහ සංචාරක මාර්ගෝපදේශකයන් සඳහා රෙගුලාසි පවතින නමුත් ඔවුන්ගේ ක්‍රියාකාරකම් නිරීක්ෂණය කිරීම දුෂ්කර වී තිබේ.

මේ අතර, වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අනුව, පසුගිය මාස දෙක තුළ පමණක් අලි මරණ 75ක් වාර්තා වී ඇත.

එම මරණ අතරින් වෙඩි තැබීම්වලින් 14ක්, විදුලිසැර වැදීමෙන් 10ක්, ආහාරවල සඟවා තිබූ පුපුරන ද්‍රව්‍යවලින් 5ක් සහ දුම්රිය අනතුරුවලින් 9ක් ලෙස වාර්තා වේ.

අනෙකුත් වන අලි මරණ ස්වාභාවික හේතූන් නිසා හෝ හඳුනානොගත් හේතු නිසා සිදුව ඇතැයි අනාවරණ වී තිබේ.

2024 දී වන අලි මරණ 388ක් වාර්තා වී ඇති අතර 2023 දී මරණ 488ක් වාර්තා විය.

සංඛ්‍යාලේඛනවලට අනුව පසුගිය වසර දහය තුළ අලි ඇතුන් 3,527ක් පමණ මියගොස් තිබේ.

මේ අතර, 2024 අගෝස්තු මාසයේදී සිදු කරන ලද අලි සංගණනයකින් අනාවරණ වී ඇත්තේ 2011 වසරේ අවසන් වරට සිදු කළ සමීක්ෂණයෙන් පසු ශ්‍රී ලංකාවේ වන අලි ගහණය 28% කින් ඉහළ ගොස් ඇති අතර, එය අවම වශයෙන් අලි ඇතුන් 7,451 දක්වා වැඩිවීමක් පෙන්නුම් කරන බවයි.