July 22, 2024

ජනාධිපතිවරණයට තරග කිරීම පිළිබඳ තම තීරණය සුදුසු මොහොතේ හෙළි කිරීමට සැලසුම් කරන බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඊයේ සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ ඇමැති ප්‍රසන්න රණතුංග විසින් වහාම අපේක්ෂකත්වය ප්‍රකාශ කරන ලෙස කළ ඉල්ලීමට ප්‍රතිචාර දක්වමිනි.

“රණතුංග ඇමැතිවරයා මට ආරාධනාවක් කළා. ඔබට ආරාධනාවක් කළ සෑම අවස්ථාවකදීම ඔබ ප්‍රතිචාර දක්වන්න ඕනේ. රණතුංග ඇමැතිවරයාගේ ආරාධනයට මම නියම වේලාවට ප්‍රතිචාර දක්වන්නම්,” යයි ජනාධිපතිවරයා කඩවත පැවති ජනහමුවක් අමතමින් පැවසීය.

ඉදිරි සතිය තුළදී ජනාධිපති අපේක්ෂකත්වය කඩිනමින් ප්‍රකාශයට පත් කරන ලෙස ඇමැති රණතුංග ජනාධිපති රනිල් වික්‍රමසිංහගෙන් දැඩි ලෙස ඉල්ලා සිටියේය.

“ගම්පහ ජනතාව ඔබතුමාගේ තීරණය ඉතා උනන්දුවෙන් බලා සිටිනවා. කරුණාකර ඔබ තරඟ කිරීමට අදහස් කරන බව ප්‍රකාශ කිරීම තව දුරටත් ප්‍රමාද කරන්න එපා,” යනුවෙන් ඇමැතිවරයා දැඩි විශ්වාසයකින් යුතුව ඉල්ලා සිටියේය.

කෙසේවෙතත්, ජනාධිපති වික්‍රමසිංහ ඒ වෙනුවට ශ්‍රී ලංකාව සංවර්ධිත ජාතියක් බවට පත් කිරීමට විපක්ෂයේ සහාය ඉල්ලා සිටියේය.

“රට සංවර්ධනය කිරීමට අප හා එක්වන ලෙස සමගි ජන බලවේගය, ජාතික ජන බලවේගය සහ ශ්‍රීලනිපයෙන් ඉල්ලා සිටීමට කැමැත්තෙමි.” යනුවෙන් ජනාධිපතිවරයා ප්‍රකාශ කළේය.

යුගයේ අවශ්‍යතාව ජාතික න්‍යාය පත්‍රයක් බවත් සෑම දේශපාලන පක්ෂයකටම තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍රය මත රැඳී සිටිය හැකි කාලය ගෙවී ගොස් ඇති බවත් ඔහු සඳහන් කළේය.

තමන් කළ ඉල්ලීම විපක්ෂය දිගින් දිගටම ප්‍රතික්ෂේප කළ බවද ජනාධිපතිවරයා සිහිපත් කළේය.

එසේම සියලුම ණයහිමියන් සමඟ ගිවිසුමකට එළඹීමට ශ්‍රී ලංකාවට හැකිවී ඇති බවද ඔහු පැවසීය.

ඉදිරි දින කිහිපය තුළ ණයහිමියන් මේ පිළිබඳ නිවේදනයක් නිකුත් කරනු ඇති බවද ජනාධිපතිවරයා සඳහන් කළේය.

අද ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගය වන්නේ 2040 වන විට දළ දේශීය නිෂ්පාදිතය පස් ගුණයකින් ඉහළ නැංවීම බව ද ඔහු පැවසීය.