July 22, 2024

බිල් නොගෙවීම නිසා විදුලිය විසන්ධි කර විදුලිය නොමැතිව සිටින විදුලි පාරිභෝගිකයන් සංඛ්‍යාව සාමාන්‍යයෙන් දිනකට 12,000ක් පමණ වන බවත් ඇතැමුන් පවසන පරිදි එය මිලියන හෝ ලක්ෂ ගණනක් නොවන බවත් විදුලිබල ඇමැති කංචන විජේසේකර පවසයි.

විජේසේකර ඇමැතිවරයා සඳහන් කළේ විදුලි පාරිභෝගිකයන් මිලියනයක් අඳුරේ සිටින බවට ඇතැමුන් මවාපෑමක් කර තිබූ බවයි.

“නමුත් සම්බන්ධතාවක් විසන්ධි වූ පුද්ගලයකු දිනකින් හෝ දෙකකින් ඒ සම්බන්ධතාව නැවත ලබා ගන්නවා. සමහර වෙලාවට පැයකින් දෙකකින්.ලක්ෂ ගණන් ගෙවල් අඳුරේ තිබුණු අවස්ථාවක් කවදාවත් තිබුණේ නැහැ,”යැයි ඇමැති කංචන විජේසේකර පවසයි.

“විසන්ධි කිරීමකින් පසු පාරිභෝගිකයන් කී දෙනෙක් අඳුරේ සිටියාදැයි මම මෑතකදී පරීක්ෂා කළා. සාමාන්‍යයෙන් එය දිනකට 12,000ට වඩා අඩුයි.” යනුවෙන් ද ඔහු සඳහන් කළේය.

විදුලිබල මණ්ඩලයට විදුලි ජනනයට සහ උපයෝගිතා පවත්වාගෙන යෑමට මුදල් එකතු කළ යුතු බව ද ඔහු පැවසීය.

2024 ජනවාරි මාසයේදී ඇමැති විජේසේකර පාර්ලිමේන්තුවට කියා සිටියේ විදුලි බල මණ්ඩල පාරිභෝගිකයන් 7,018,785 දෙනෙකුගෙන් විසන්ධි කිරීම් 965,566ක් සහ ලංකා විදුලි සමාගමේ පාරිභෝගික පදනම වන 620,238 අතරින් 98,834කගේ විදුලිය විසන්ධි කර ඇති අතර එය පෙර වසරට වඩා වැඩි වීමක් බවයි.

කෙසේවෙතත්, ඉතා විශාල නොවන හිඟ මුදල් සඳහා විදුලිය විසන්ධි කළ අවස්ථා ඇති බවත් එය අසාධාරණ බවත් ඔහු පැවසීය.

එබැවින් එවැනි දේ වෙනස් කරන්න උපදෙස් දී තිබේ.

අයිතිකරුවන් විදේශගතව සිටින හෝ ගොඩනැගිලි වසා ඇති අක්‍රිය ගිණුම් තරමක් වැඩිවීම පිළිබඳ දත්ත මීට පෙර නිකුත් වී තිබිණි.

විජේසේකර ඇමැතිවරයා කියා සිටියේ දුරකථන ග්‍රාහකයන් සම්බන්ධයෙන් කිසිවකුත් කතා නොකරන බවයි.

අඩුම විදුලිය භාවිත කළ ලක්ෂ 18ක ග්‍රාහකයන් සඳහා මාසයක විදුලි සැපයුමක් වෙනුවෙන් බිල රුපියල් 280ක් පමණ වූ බව ඔහු පෙන්වාදෙයි.

“එය ඩොලර් එකකට වඩා අඩුයි. ඩොලරය රුපියල් 306යි. ලෝකේ කොහේද එහෙම කරන්නේ?” යනුවෙන් ඔහු ප්‍රශ්න කළේය.

“අපි අනුගමනය කරපු ක්‍රියාවලිය නිසා අපිට ඒක කරන්න පුළුවන් වෙලා තියෙනවා.” යනුවෙන් විජේසේකර ඇමැතිවරයා වැඩිදුරටත් සඳහන් කළේය.