May 10, 2024

අභියාචනාධිකරණයේ පවතින පුරප්පාඩු සඳහා විනිසුරුවරුන් පත්කිරීමේ දීර්ඝකාලීන ප්‍රමාදය පිළිබඳව ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ දැඩි අවධානය යොමුව තිබේ.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ වෙත ලිපියක් යොමුකරමින් ශ්‍රී ලංකා නීතීඥ සංගමයේ විසින් දැනට අභියාචනාධිකරණය තුළ පවතින පුරප්පාඩු පහකට ආසන්න සංඛ්‍යාවක් සම්බන්ධයෙන් පවතින ගැටලුව දැනුම් දී ඇත.

ඒ සම්බන්ධයෙන් අවධානය යොමුකිරීමේ හදිසි අවශ්‍යතාවය ද අදාළ ලිපිය මගින් අවධාරණය කර තිබේ.

එමෙන්ම මෙම තත්ත්වය පිළිබඳව දැඩි කනස්සල්ල පළකරන බව ද නීතිඥ සංගමය ලිපියේ ස‍ඳහන් කර ඇත.

නීතියේ ආධිපත්‍යය තහවුරු කිරීම, යුක්තිය සහතික කිරීම සහ පුරවැසියන්ගේ අයිතිවාසිකම් සුරක්ෂිත කිරීම සඳහා අධිකරණයේ ප්‍රධාන කාර්යභාරය ද සංගමය එමගින් අවධාරණය කරයි.

“ප්‍රධාන තනතුරු දීර්ඝ කාලයක් හිස්ව පවතින විට අධිකරණ පද්ධතියේ කාර්යක්ෂමතාව සහ සඵලතාව සැලකිය යුතු ලෙස අඩාල වේ. නඩු ගොඩගැසීම වැඩි වන අතර, යුක්තිය පසිඳලීමේ ප්‍රමාදයන්, නීති පද්ධතිය කෙරෙහි මහජන විශ්වාසය ඛාදනය වීම සහ අවසානයේ පුරවැසියන්ට යුක්තිය ප්‍රතික්ෂේප කිරීමට සිදුවනු ඇත. මීට අමතරව, ව්‍යාපාර කිරීමේ පහසුව සම්බන්ධයෙන් ශ්‍රී ලංකාවේ ශ්‍රේණිගත කිරීම් තවදුරටත් අඩුවිය හැකි අතර, එමඟින් ආර්ථිකය ප්‍රකෘතිමත් වීමේ ප්‍රයත්නයන්ට බාධාවක් වනු ඇත” යනුවෙන් ද නීතීඥ සංගමය අදාළ ලිපිය මගින් ජනාධිපතිවරයා වෙත දන්වා තිබේ.

තවද, විස්තීරණ සහ සමබර විනිශ්චය සඳහා තීරණාත්මක වන ඉදිරි දර්ශන සහ විශේෂඥතාවේ විවිධත්වය හීනකිරීමට උපරිමාධිකරණවල පූර්ණ විනිසුරු මඩුල්ලක් නොමැති වීම හේතුවන බව ද එමගින් දැනුම් දී ඇත.