April 28, 2024

අලුත් අවුරුදු දින රාත්‍රියේ අවුරුදු සාදයක් අතරතුර වූ වෙඩි තැබීමකින් තුවාල ලබා රෝහල්ගත කර සිටි පොළොන්නරු මින්නේරිය ප්‍රදේශයේ පදිංචි 17 හැවිරිදි දැරිය මියගොස් තිබේ.

ගිරිතලේ යාය 4 ප්‍රදේශයේ පදිංචි මෙම 17 හැවිරිදි දැරියට වෙඩිතබා තිබුණේ පසුගිය 14 වැනිදා රාත්‍රියේ 8.45ට පමණය.

මෙසේ වෙඩි ප්‍රහාරයට ලක්ව තිබුණේ කෞෂිකා චමෝද්‍යා යන දැරියයි.

ඇයගේ ගෙල ප්‍රදේශයට එල්ල වූ වෙඩි ප්‍රහාරය හේතුවෙන් තුවාල ලබා පොළොන්නරුව මහ රෝහලේ හදිසි ප්‍රතිකාර ඒකකයට ඇතුළත් කර, පසුව අනුරාධපුරයේ රෝහලට මාරුකර තත්ත්වය අසධ්‍ය නිසා වැඩිදුර ප්‍රතිකාර සඳහා පේරාදෙණිය ශික්ෂණ රෝහලට මාරුකර යවා තිබිණි.

මෙම දැරිය වසර දෙකකට පමණ ඉහතදී ප්‍රදේශයේ හතළිස් හැවිරිදි පුද්ගලයකු සමග ප්‍රේම සම්බන්ධයක් පවත්වා ඔහු සමග පිටව ගොස් ඇති අතර ඔහුගෙන් වන හිරිහැර කම්කටලු උහුලා ගැනීමට නොහැකිවීම නිසා ඇය මෙම සිදුවීමට සති කිහිපයකට පෙර නිවසට පැමිණ තිබේ.

ඉන් අනතුරුව ඔහු ඇයට නොයෙකුත් අවස්ථාවල දී මග රැක සිට තර්ජන එල්ල කළ බව ඇගේ පියා පවසයි.

පසුගිය 14 වැනිදා රාත්‍රී අවුරුදු සාදයක් සඳහා යාබද නිවසකට මෙම තරුණිය සහ මව ඇගේ පවුලේ පිරිස ගොස් සිටි අවස්ථාවේ අදාළ පුද්ගලයා වෙඩිතබා පළාගොස් තිබිණි.