March 24, 2024

සෙවණගල සීනි කම්හල සහ එහි ඉඩම් 2011 වසරේ දී රජයට පවරා ගැනීම සම්බන්ධයෙන් වන්දි ලෙස අභියාචනාධිකරණය යෝජනා කළ සමථයකට අනුව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී දයා ගමගේට රුපියල් බිලියන 2ක අතුරු ගෙවීමක් සිදුකිරීමට රජය එකඟ වී තිබේ.

මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශයේ ලේකම්වරයා වෙනුවෙන් පෙනී සිටිමින් නීතිපති දෙපාර්තමේන්තුව අංක 536/2023 දරන රිට් අයදුම්පත අභියාචනාධිකරණ සභාපති බන්දුල කරුණාරත්න සහ බී.සසි මහේන්ද්‍රන් යන ද්විපුද්ගල විනිසුරු මඩුල්ල වෙත ඉදිරිපත් කර තිබිණි.

රජය විසින් සමථයකට පත් කිරීමට යෝජනා කර ඇති බවත් ඒ යටතේ සෙවණගල සීනි කම්හල සහ එහි ඉඩම් පවරා ගැනීම සඳහා අතුරු ගෙවීමක් ලෙස රුපියල් බිලියන 2ක් පෙත්සම්කාර ගමගේට ගෙවනු ලබන බවත් නීතිපති දෙපාර්තමේන්තුව දැනුම්දී තිබේ.

රජය විසින් යෝජනා කරන ලද සමථයකට අනුව, දයා ගමගේ විසින් අන්තර්ජාතික වාණිජ මණ්ඩලය ඉදිරියේ ඇති බේරුම්කරණය ඉල්ලා අස්කර ගැනීමට අවශ්‍ය වේ.

යෝජිත සමථය සම්බන්ධයෙන් තම සේවාදායකයාගෙන් උපදෙස් අවශ්‍ය බවත් මෙය අවසන් කිරීම සඳහා පාර්ශ්ව අතර රැස්වීමක් මාර්තු 25 වැනිදා පැවැත්වීමට නියමිතව තිබූ බවත් පෙත්සම්කරු වෙනුවෙන් පෙනී සිටි නීතිඥවරයා අධිකරණයට දන්වා සිටියේය.

ඒ අනුව යෝජිත සමථය සම්බන්ධයෙන් තීරණය අධිකරණයට දැනුම් දීම සඳහා අප්‍රේල් 5 වැනිදා කරුණු දැක්වීමට නියම කරන ලදී.

2002 දී පොදු ව්‍යවසාය ප්‍රතිසංස්කරණ කොමිෂන් සභාව සෙවණගල ෂුගර් ඉන්ඩස්ට්‍රීස් ලිමිටඩ් හි කොටස්වලින් 90%ක් විකිණීම සඳහා යෝජනා කැඳවන ලදී.

ඉන් අනතුරුව, දයා සමූහ ව්‍යාපාරයේ කොටසක් වන සීමාසහිත දයා ඇපරල් එක්ස්පෝට් සමාගම විසින් ඉදිරිපත් කරන ලද රු. මිලියන 550ක් වූ ලංසුව පිළිගනු ලැබිණි.

කෙසේවෙතත්, 2011 නොවැම්බර් 9 වන දින රජය විසින් 2011 අංක 43 දරණ ඌන ක්‍රියාකාරී ව්‍යවසායන් හෝ ඌන උපයෝගි වත්කම් පුනර්ජීවනය කිරීමේ පනත සම්මත කරන ලද අතර, එහිදී සෙවනගල සීනි කර්මාන්තශාලාවේ ස්ථාවර වත්කම් ඌන උපයෝජනයක් ලෙස සළකනු ලැබ එම පනතේ විධිවිධානවලට අනුව පවරා ගන්නා ලදී.

මීට පෙර එම පනතේ 5(1) වගන්තිය යටතේ වන්දි විනිශ්චය සභාවක් පත් කර තිබූ අතර එය ගමගේට අයත් සෙවනගල සීනි කර්මාන්ත ආයතනයට රු. මිලියන 791ක වන්දියක් නියම කර තිබිණි.

කෙසේවෙතත්, එවැනි වන්දියක් කිසිසේත්ම ප්‍රමාණවත් නොවන බව සැළකේ.